දුර සිටන් වුවත්
එවා සුපෙම් පත්
දිරිගන්වමින්
මවන්නට සොඳ
අගේ ඇති පොත පත
ඔල්ගා නුඹ වන්
සුපෙම් මැසිවිල්ලක්
චෙකොප් නම්වූ
පන්හිඳ හැරවූ අන්
යමක් වෙත්ද
උවමන් කරනට
ඔල්ගා නුඹ වන්
සුපෙම් ළඳක්
සිටියා නම් මටත්
මවනු ඇත
මගේ පන්හිඳත්
“චෙරි වත්ත“ ටත්
වඩා යමක්..
වලලන්න මා
කිසිවෙකු ඇස නොගැටෙනු පිණිස..
දිවිකතර මත විඳි
අනියත හැමදෙයින් වෙන්වනු පිණිස..
පසුපසින් මෙන්ම ඉදිරියෙන්
ගමන් මග අවහිර කර
දුන් දෙය මෙන්ම ගත් දෙයද
අමතක කර දමා හිඳ
හෙට පැමිණ සුසානය මත
මල් වඩම් හා රෝස පොකුරු
තබා සිත විවර කරන
ඉටිපහන් හා සුවඳ හර
දල්වමින් හඬ හඬා වැලපෙන
ඇසුරුකල වුන් ඇස නොගැටෙන්න
වලලන්න මා
කිසිවෙකු ඇස නොගැටෙනු පිණිස
සමාදානයෙන් සැතපෙනු පිණිස
දුටුවෙමි
සතර පෙරනිමිති
හුදෙකලාව හඬන
යුවතියක්..
බහු ස්ත්‍රී සේවනයේ
පුරුෂ ප්‍රාණයක්..
පහරකන පාවහන් යුගලෙන්
වංචාකාර සැමියෙක්..
රුව වරුණ මුදලට මනින
රූබර විලාසිනියක්...
ඉන් ඉක්බිති
කළකිරුණි කුලගෙය
බලන් යකිමතෝ
ඒ හසරැල්ල දෙස
වසා සඳකැන් පවා
නුඹ දිහාවට වැටෙන
මැන්ඩලීනය නිහඬ
එකම එක රාත්‍රියක
කියතෝව හඬවමින්
ඇය යන්න ගිය අයුරු
සඳකැන් දුටුවා
නුඹ නොදුටුවත්
කඳුළු අතරින්....
සයිබරය තුල කලාවට
යමක් කරනු නියාවට
හිතට බර නැති අකුරු කෙරුමට
නොසිතේ දැන් අකාලේ
සිතුවිල්ල තරමට ගතහැකි
හරවත් යමක් මිස හිතට
නොරිසිය යමක් වෙන
ගිනියම් වූ යකඩ වැනි හිත් වලට
එහෙත් බ්ලොග් ගලිවරයන් මැද
ලිලිපුට් කෙනෙක් වීමම
යමක් වෙයි සිතන්නට
දෙවරක්ම ලියන්නට
“නති නායකෝ විනස්සන්තී
බහු නායකෝ විනස්සන්තී“
අපි තාමත් එතනමයි
බලාගෙන කියුම් කෙරුම්
බිඳින හැටි පාළුගෙයි වලං
වසා දමනු බැරි මතක පොතේ
අවසන් පිටුවේ රැඳෙමි
මකා දමනු බැරි සිතුවිලි මෙන්
හදවත පතුලේ හිඳමි
හඬා වැටෙනු බැරි ඇස් අතරේ
මතකයේ කඳුළැලි රඳමි
දමා නොයන මතකය ලෙසකින්
හිත තදින් වෙලා ගනිමි
ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්