සියක් ආයු ලබනට නොව
සියක් වස්තු ලබනට නොව
සියක් පදවි ලබනට නොව
සියක් දහක් සිත් සදනටමය
සියක් සෙනග නැති මා හට
සියක් දෑත් නැති මා හට
සියක් දෙඇස් නැති මාහට
සියක් වටින හිතක් සතුය
සියක් දුරක් යන්නට නැත
සියක් දුරක් පැමිණත් ඇත
සියක් වටින සිතුවිලි ඇත
සියක් තුටින් කියවිය හැක
සියක් පැතුම් අද නැහැ මට
සියක් සුසුම් වටිනව මට
සියක් පැතුම් කුමටද මට
සියක් උසැති කවි ටික ඇත
සුපුරුදු සුවඳ නුඹෙ වරලස වෙතින් ඇදෙන සුබදිනයක
නුපුරුදු සිනා රැල් නැගුනේ ඇයිද නගේ දුටු විගසක
නලමුදු සුවඳ විඳ ගතසිත පුබුදු වෙතේ හිමිදරියක
මගෙමුදු සිතට නුඹෙ සිනහව පහන් රැසකි බෝ මලුවක
ලප නොමවන් සඳක් නොවූවත් නුඹ
හුදෙකලා පහන් දැල්ලක්ම විය
අවැසිකල හිත දිදුලවන
නිබඳවම ලඟ රැඳෙන
මහා සයුරක් නොවූවත් නුඹ
එකම දිය පොදක් විය
හද පවස නිවන අද
පිසදමා හිත විඩාබර
මිණිකැට ගොමුවක් නොවූවත් නුඹ
එකම සම්පතක් විය
දිවිය සුවපත් කරන
මියෙන් හිත පණපොවන
මහනුවර තුසන්ත සම්පත් සොයුරා විසින් එවූ ඡායාරූපයකට ගෙතූ කවි සිත්තමකි, ඔබේ සිත දිනූ රූ කවි සිතුවම් වෙත එවන්න wijaindu@gmail.com
වරුවක් සිත ලඟ නතරවෙලා
තරුවක් ලෙස ඉන්න
වැස්සක් වී අහසින් වැටිලා
පින්නක් වී දැවටෙන්න
නෙත්මානයේ රුව දසුන් මවා
හදමානයේ නැවතී ඉන්න
සිසිලක් වී හද සලිත කරවනා
මතකයේ ඔබේ රැඳෙන්න
එක වරක් ඉඩදෙන්න
හද ස්වරයට ඉකිබිඳින්න
ඒ ස්වරයේ කියෙවෙනා
එකම වදන දැනගන්න
කඳුළක් වුනු මම ම
සතුටක් වුනේ නුඹටම
නොවේ ගෙවන්නට ණය
කඳුළක් වුණු බැවින් මම
සතුටක් නගා සොඳුරු මුව මත
ලැබූයෙමි අපමණ තුටක් හද මත
නොවේ එය සරදමක්
ජීවිතයට නුඹේ තව වරක්
අවැසි මොහොතේ ලඟින් සිට
නොසිටියත් දැන් ඉතින් හෙට
නොවේ එය නුඹ හට දැනෙන්නේ
තුටු මිතුරු කැල පමණි වටින්නේ
එහෙත් මා හද විඳී අපමණ තුටක්
ලදිමිය සැපක් මිහිමත දවියේ වරක්
වෙනසක් කලත් නුඹ මට මෙසේ
නෑ හිත්කොණේ දුක යලි එසේ
නුඹ හිස්තැනක් හදවත් පොතේ
තැබු තිත් පෙලක් මා හදවතේ
නොඑනා ලෙසින් යන මේ දිනේ
නුඹ එනු එපා හද නටඹුන් වනේ
ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්