twitter rss

කියවූ පසුව පොත පෙරලූ හැටි කදිම

:::ලිපි වර්ගය:::

අසනා දෙකන් බිහිරිව යන ලෙසම
කියවා මහ හඬින් මහපඬි පොත් දුසිම
පෙන්නා ඇසු පිරූ තැන් ඇති බව තවම
කියවූ පසුව පොත පෙරලූ හැටි කදිම

නොවසා දෙකන්  තනිවම අකුරු කෙරූ
සිතැඟිවි සිතින් ගුරු කුලයේ එදා විසූ
කෝ ඒ හිතැති සිසු කැල සිත් සාර දිනූ
හැරගොස් ඔවුන් තනිකර මහපඬි ඇදුරූ

දිසාපාමොක් තනිවම සිටින කල
පුස්කොල පොත්ද කාවන් හා වෙලෙන කල
නොකියා කොහොම අදියුම් ක්‍රමයේ විකල
තවමත් පෙරලනා පොත් නැත සුව සඵල

උදෑසන ඇවිත් - නුඹ කොහේහෝ දමා

:::ලිපි වර්ගය:::

පුරුදු ලෙස උදෑසන ඇවිත්
හීතලට ගැහෙන විට
සියොළඟම
අපූරුයි මේ උදෑසන 
පෙරදිනටත් වඩා

එහෙත් මේ උදෑසන
දමාවිත් නුඹ කොහේහරි
පෙර දින රැය ගෙනා මවෙත
හිත් පිත් නැති ලෙසින් 
නුඹ දමාවිත් කෙහේහෝ

දයාබර සුළඟ

:::ලිපි වර්ගය:::

නුඹ මෙන්ද මමද එක ලෙස
පෙම්බැඳි සුළඟ මිස
අන් යමක් නැත අද
අප රැඳුනු සොඳුරු තැන්වල
හිරු එළිය එළිය දී
සඳ මඩල තනිවැරුවද
දයාබර සුළඟ මිස
නැත කිසිවක් අද එහි
සුසුම් පොදි ගමන් ගිය
කඳුළු වැල් පිරිමැද්ද
අප රැඳුනු සොඳුරු තැන්
සුළඟ රකිනවා ඇත
දයාබර සුළං රල
තනිව අප හුන් තැනම
හිඳී නිරුවත් විලස
අපේ සිතුවම් රැගෙන





ගනේවත්තේ තුෂාරි කාරියප්පෙරුම සොයුරිය එවූ සොඳුරු ඡායාරූපයට ලියූ “කවි සිතුවමකි“
ඔබ සතුව ඇති සොඳුරු සේයා රූ සිතුවිලි පලසට එවන්න wijaindu@gmail.com ඒවා හැකි උපරිමයෙන්
කවි සිතුවම් කරන්නට සූදානම්

පිහිය

:::ලිපි වර්ගය:::

ඇන්නා ඔහු මට
සමාජවාදී පිහියකින්
තුවාලයෙන් ගලා ගිය
නිලට හුරු රුධිරය
කියාලන කතාවට 
කන් නොදුන් ඔහු යලිත්
ඇන්නා නැවතත් මට
ධනවාදයේ බයිනේත්තු තුඩින්
හදවතට නොව එය 
ඇමිණුනි බඩතුරේ
දිනගණනිකින් තැවෙන
සාගින්දරේ
අවසානයේ ඔහු
අතට ගෙන රන් කඩුව
අධිරදවාදය ලෙසින් නම්ලද
කපා දැම්මා මගේ සිරස
නැවතත් ඔසවනු
නොහැකි ලෙස හිස

----------------------------

හිරු කුමරිය

:::ලිපි වර්ගය:::

තරුවක් නැති රෑ අහසින්
තරුවක් ගෙන හද මඩලට
මද්දහනට පීදෙන්නට
පැතුම් පැතුව විට තනිවම

වරුවක් නුඹ හිත් අහසේ
වරුවක් මගෙ නෙතු අතරේ
රැඳී ඉන්න හිරු කුමරී
වෙලා සුවය නෙත් මානෙට

සුවයක් ලද මුත් මහදට
සුවයක් නැති නුඹෙ දිවියට
ඇවිත් ඉන්න එක දිනයක්
සිත මුමුණයි පැතුම් ගොඩක්

භවයක් මම පැතූ හෙයින්
භවයක් විය නුඹ ලබමින්
එහෙයින් මගේ ජීවිතයට
හිරු කුමරිය නුඹයි තවම

හදිස්සිය...

:::ලිපි වර්ගය:::
දමාගෙන කඩිමුඩියේ පටපිළි
හතලමින් වගේ නුඹ අද
කොහේ ගිහින්දෝ උදේම
දහසක් දේ තබා මෙහිම....

අරුණෝදය අරන් ආපු
පණිවිඩයක් නිසාවත්ද
මිරිවැඩි  සඟලටත් හොරෙන්
නුඹ පිටවී හිමිදිරියේ...

නුඹ ගැන තතු දැනගන්නට
ඇසුවත් මිරිවැඩි සඟලෙන් මම
නොදනී එය  මා විලසම
රකී නිහඬ බව තරහින්
දමා ගියපු නිසාවෙන්ම
මම වාගෙම දුකින් හිතේ


අද සිට ඇරඹෙන කවි සිතුවම් අංගය වෙනුවෙන් කෑගල්ලේ දුමින්ද කෝදාගොඩ සහෝදරයා එවූ ඡායාරූපයකට රචිත පදපෙලකි...

නිල් සඳ මඩල

:::ලිපි වර්ගය:::

දෙනෙතින් අඳින තුරු නුඹෙ රුව අහස පුරා
පැතුමින් තනන විට නුඹෙ නෙත මසිත් අරා
සිතමින් නිතර නුඹ හුන් තැන මහද දරා
තැවෙමින් මෙලෙස විඳවනු ඇයි දුකද දරා

අටවක සඳට වැඩි සෙනෙහස උපමාව
සැටවක කලට හිත පුරවා නොපමාව
ජලවක නැකතකින් ඉපදුනු පෙම්මාව
මගේ එක සිතින් උහුලමි දුන් උපමාව

නැත සිත පුරා දුක තව නුඹ නැති හෙයිනි
ඇත එක දෙයක් ඒ සුව සැප නුඹෙ පමණි
මත කය රිදවුවත් නුඹ ගැන පව සමිනි
අත ලඟ නැතිනමුත් තවමත් සිත පෙමිනි


*********
ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්