twitter rss

මම ගැන




         නමින් ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර..මේ ලෝකෙට සම්ප්‍රාප්ත වුණේ දෙවුන්දරින්..ඒත් ජීවත්වෙන්න වුණේ සුන්දර මාතර වෙහෙරහේන ප්‍රදේශයේ. ඒකත් හේතුවක් අමුතු අමුතු සංකල්පනා ඔළුවට එන්න..සුන්දර නිහැඬියාව රජකරන පෙදෙසක ඉඳගෙන ග්‍රාමීය ආකල්ප මත ජීවත් වෙද්දි ජනිතවෙන හැඟීම් රසාස්වාදනය කරන්න ඉගනගත්තේ පොඩිකාලේ ඉඳන්මයි..තාත්තගේ කවි ආභාෂය නිතැතින්ම ලැබුණා.ජානමය වශයෙන් මං ඉපදුනේම කවිකම අරගෙන වෙන්න ඇති කියලා මටම හිතෙනවා..පුංචිකාලේ ඉඳලම තාත්තගේ මුල අග එලිවැට තියලා විදග්ධ සිංහල භාෂා හැසිරවීමකින් ලියන සිව්පද අහන්න විඳින්න හරි ආසාවක් තිබුණා..එච්චරටම හැකියාවක් මටනම් කවදාවත් ලබන්න බෑ කියලා දැන් මං දන්නවා..හැබැයි තාත්නම් අදහස් කරන්නේ අපි දෙන්නම එකම ආරකට දෙවිදියකට කවි ලියනවා කියලා..සමහරවිට වෙන්න ඇති..

  මට මතකයි මං මුලින්ම ලියපු සිව්පදේ..කවියක් කියලා මට මුලින්ම දැනුනේ ඒක..මම නවහැවිරිදි වියේ මිතුරෙක් වෙන්ව වෙනත් පාසලකට යන මොහොතක ලියපු කවියක් පුංචි කොලේක ලියලා අතට ගුලිකලේ සමරු ‍පොතක ලියන්න තේරුණේ නැති නිසා..


      මිතුර නුඹ යන දිසාවට
      සුලං රල ලෙස පැමිණෙන්ට
      නොහැකිමුත් තනි මට
      මිතුදම එයි නුඹෙ තනියට



 ඔය පද හතර තමයි මගේ කවිකමේ පදනම වුනේ..එදා ඉඳන් දශකයකට වැඩි කාලයක් අනන්තවත් කවි නිසඳැයි සහ විදේශීය උරුවට යන හයිකු මොඩලයේ..ඉන්දීය කාව්‍ය මොඩලයේ කවි මෙන්ම සිංහල පුරාණ සඳැස් මොඩලයේ කවි ලියන්න මට පුළුවන් වුණේ හිතේ හයියයි නිමක් නැති සිතුවිලි ගොන්නයි නිසාම තමයි..

  අදටත් ඉඩක් ලැබෙන හැම වෙලාවෙම කවියක් සිතුවමක් කරේ නැත්නම් බඩගින්නටත් වඩා  අමාරුයි කියලා මං තේරුම් අරන් ඉන්නේ..සිතුවිලි පලස කියන්නේ නිමක් නැති මගේ සිතුවිලි වලට සයිබරයේ මං වෙන්කරපු මෙගා බයිට් ගාණක ඉඩකඩ..සිතුවිලි වලට මිනුම් ඒකක නෑ..සීමාවක් නෑ.. 

  ශාස්ත්‍රීය කලාවට ගව්ගණනක් ඈත කළමණාකරණ අංශයේ අදියුම් ලදත් උපන් ලේ වල ගැබ්වූ කලාව අදටත් මා පෝෂණය කරනවා..හරියට කුමරතුඟු පඬිරුවන කී සේ..මා තරකල මාතර ගැන මෙන් මටත් මා තර කල  මාතර අභිමානයෙක්මැ..ජීවිතයේ රසමිහිර විඳින්න කවියක් දෙකක් ලියා පලකරනු විනා අදහස් වලට ලොල්වී හෝ ප්‍රසිද්ධියට ලොල්වී කවි ලිවීම මගේ සම්ප්‍රදාය නොවේ..මේ කවි පිටුවේ පවා අනන්‍යතාව සටහන් කර ඇත්තේ බුද්ධිමය දේපල රැකගැනීමට පමණක්මය.
  සිතුවිලි පලස රසවිඳින බොහොමයක් දෙස් හා විදෙස් ලාං‍කා දරුවෝ මට නිතැතින්ම විද්‍යුත් පණිවුඩ.මූණු පො‍තේ පණිවුඩ හා දුරකතන ඇමතුම් දෙමින් දිරි සවි ලබාදීම මම මේ මොහොතේ අගයකර සිටිනවා. ඒ සවි ශක්තියෙන් මේ හිසේ සිහිය ඇතිතාක්..අතේ පණ ඇති තාක් කවිලිවීම මගේ පැතුමයි..

  කවිය මැරිය නොහැක..වැනසියද නොහැක..කවියාද එසේමය පරාජය කල නොහැක..පරාජය කරන්නට තැත්කලද පරදින්නේ කවියා හෝ ඔහුගේ කවිය නොව..රසවිඳින්නට පිනක් නැති ලෝකය පමණි..කවියා දුප්පත්ය ආර්ථකමය අන්තයෙන් අන්ත ලෙස..නමුත් පොහොසත්ය සිතුවිල්ලෙන් ලොව අන් හැම දානපතියෙක්ටම වඩා..ඒ මහා සිතුවිල්ල නාභිගතකර අවකාශයට මුදා හැරීමට මත්තෙන් මගේ පලස මත මුදාහැර තබන්නෙමි...රසවිඳින කලාකාමී ඔබ වෙනුවෙන්...

  මම..

  ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර
  මාතර.
  wijaindu@gmail.com    On Facebook  On Twitter 
  
  http://www.sithuwilipalasa.blogspot.com
  http://www.apeisawwa.blogspot.com
 



ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්