වෙල් ඉපනැල්ලේ නියර පිස එන
සිහිල් මදනල සමග මුසුවුව
ඉබිගමන් යන හිරු රැසේ ගිනි
මතින් දහවලට පැමිණුන
ලබැඳි හිත් මත සිනහා රැලිගෙන
ගත සුවය මත නිතින් රජ කල
කුඩා කල සිට දරා දෝතට
යහමින් රැගෙන පැමිණි දිගු දුර
දෑතින් තදකර තෘප්තිමත් හිතින්
රැකගත් විඳගත්
සුවිසල් නිදහස
නොමැති කරගත් සඳ
හිතට අවනත නොවූ හැඟුමට වහල්ව
දැනෙයි නිදහස
නුඹ ගියේද යලිත් සුපුරුදු
වෙල් ඉපනැල්ලටම
මහ වැස්ස වී නුඹ ඇදහැලෙන්නේ
වැහිදියෙන් හද තෙතබරිත යාමේ
ඝන අව්ව වී නුඹ එලිය දෙන්නේ
දහදියෙන් ගත රිදවනා යාමේ
ඉකිබිඳින වැස්සට මංමුලාවුන
හෙවණ නැති එක ගසක අභියස
ඉර අව්ව නැති කලක වෙවුලන
සීතලේ මම රැඳුනි එතැනම
නුඹ සැඟව ගිය එක
දවසකට
දාහයෙන් ගත පෙලෙන සඳ
තවත් ගිනියම් හිරු මඩල ගෙන
නොඑනු මැන දිවි කතර බිම වෙත
ජීවිත සලපතල මළුව මත
පැදකුණු කරන සඳ නිසොල්මන්ව
පා ගැටෙන සිහින් වැලිකැට
රළු බොරළු මෙන්ම
ගොරහැඬි රිවි කිරණ
රිදුම් දෙන සඳ මුළු මහත් සිරුරටම
අවදිවන ප්‍රඥාවටත් ඉහලින්
දැනෙන යමකට පෙම්බැඳ
නොනවතින
මේ ගමන
නොනිමි අග
නුඹ නොහිටින්නට
සසරෙන් මා එතෙරව බොහො කල්
භවයෙන් භවයේ
මා සමගින් එන
පෙම්හුය නැතිනම්
භවයනේ මා ගිලිහී බොහො කල්
රළු මං පෙත දිවියේ ඉම නොමදැන
අත් පා කකියන විටදි මගේ
කෙලෙසුන් දුරුකර සසරින් ගිලිහෙන
මං පෙත් ඇති මුත් ලොවට මගේ
භවයෙන් භවයට මා හද හඳුනන
නුඹ පෙම ඒ මඟ අහුරා පිබිදෙන්නේ
බෝසත් හිමිවරු දැහැනට සමවැද
අනියත දුක කෙලවරට ඇඳෙන සඳ
අභිනික්මනටත් පෙමින් අඩක් දෙන
යසෝදරාවන් කොහෙද ලොවේ
භවයෙන් භවයට මා හද තදකර
නුඹ පෙම ඒ මග අහුරා පිබිදෙන්නේ
බැඳිය සුරපුරක සුලඟත් රැගෙන එන
සිඳිය සිත්තුටින් මාතොට දසුන් ගෙන
බඳුය මෙ පඹුරණ ගම් සුවබර හැඟුම් දෙන
බඳුය රන් තොරණ බඹලොව තුලට එන
වනා කේශ රැලි මාලා රන් දාම
උනා සිහින සළු තුසිතෙන් බැසි යාම
සිනා සෙන ලියන් මෙපුරේ සිරි සේම
සිනා නොව බලන් සිත් ඇති ගුණ දාම
සිරිය වසන මාතොට අභිමන් මෙහිය
සිරිය රකින තෙදවත් මහ දන බලය
සිරිය දකින නෙත් ලොල්වී යන ලෙසය
සිරිය මෙ පඹුරණ පුර වැනුමත් තුටුය
සියපතක පෙති මුකුලිතව ගිය
එකම දවසක ගොම්මනේ
හදවතක ගිනි දළු නිවන්නට
සිහිකලෙමි නුඹ සක්මනේ
ලඳළු වන පෙත ඇවිද ගිය එක
දිනක සිහිවටනය දිගේ
ඇවිද යමි හද පුපුරු ගසනා
විටක පෙම්වත් මාවතේ
නුඹද වෙනතක මමද තනිවම
දිවිය දෙපසක දුර ඇදේ
හදක හඳුනන සොඳුරු මතකය
විල්තෙරක තනිවී ඇතේ
අතපය ලාලිතව සොලවමින්
සරාගී සිත් ගත් ලෙසින්
රඟන විට නුඹ රඟමඩල මැද
ඇතැමෙක් ලොබින් බලයි
නුඹ දිහාව
සිත සොවින් පිරේ නුඹ ගැන
නුඹ මගේ නුඹ මගේ
නුඹත් මගේ නුඹෙ රුවත් මගේ
උන් බලන්නේ නුඹෙ නැටුම නොවේ
නෑඹුල් මලක් වැනි රන් රුව නුඹේ
සිත ඉවසනු බැරි ලෙස ගැහේ
රැගෙන නුඹ මේ රඟමඩලින්
නික්ම දිවයන්නට සිතේ
කාත්කව්රුත් නැති ඈත මිටියාවතට
එවිට නුඹ මගේ නුඹ මගේ
කෑ ගසා පැවසිය හැක
හිස් අවකාශයට වුව
එහෙත් ඇත්තට නුඹ මගේද
සදහටම නුඹ මගේද
දිනක නුඹ සිත මෙන් කයද දමා
යන්නට වනවා නොවෙද
මදින් මද වැටහුණු
අනියත ලෝ දහමේ සත්‍ය
නුඹටද එක ලෙසම වග
නැගිටිමි අසුණින්
පිටව යමි රඟ මඩලින්
“කවි සිතුවම්“ වෙත ඡායාරූපය එව්වේ දඩල්ලේ හර්ෂණ අධිකාරි
දුක පමණක් නොව
සැපද
එකලෙසම නොවුනද
හැකි පමණ
බෙදාගැනුමට
අවැසිය මිතුරියක්
මටත් අද හෙට
නිහඬ බව රජයා
සුපුරුදු මූසල බව වෙනුවට
කෑගසා සතුටු වෙන
වදනින් වදන හිතවත්වන
මා වැනිම
හිතවතියක්
මහපොලව මතම සිට
පයගසා කල් ගෙවන
හිත මතම හිත තියන
සොඳුරු හිතවතියක්
අවැසිය මා හට
අවැසි බව දැනෙන ලෙසම
අපි ආගිය තැන්
කී වදන් වැල්
අමතක කලතු නුඹ
අරුම හිනාවකින්
කෙසේ අමතක කරමිද
මා මත තැබූ
මතක පොදි
නැවත නොලිහා තදකර
නුඹ කියන විලසට..
එහෙත් නුඹට සැප
වලලන මතක නම්
වලලමි සුසානයේ
යළිඳු ගොඩ නොගන්නට
එවිට ඇවිත් සිනාසෙන්න
සුසානය අසල සිට
යලි ගොඩ නොඑනි මතක දෙස
බලා සිත සැනසුමෙන්
සංසාර සාගරේ මා සෙයූ කුල කුමරී
රෑ අහසේ තරු ගානේ මා සෙයූ ඒ කුමරී
මල් සිනා කැන් පා මා හදේ සැඟවුණා
නෙත් යායේ මා සෙයූ
ඈ දිනක හමුවුණා
නෙත් පහස ලැබගන්න
හිඳිමි ඔබ එනතුරා
සංසාර සාගරේ මා සෙයූ කුල කුමරී...
සිත්යායේ පාවෙනා
නෙත් මානේ හිනැහෙනා
මා දෑස පිනවනා
මා කුමරී ඔබේ සිනා
සිත් මානේ සැඟවිලා
මා පැතූ නිල් කුසුම
සංසාර සාගරේ මා සෙයූ කුල කුමරී...
හදගැස්ම මගේ ජීවේ
ඔබ ගාව පුදකලා
හැමදාම මා එක්ක
නුඹ ඉන්න මා කුමරී
පෙම් සිතේ සැඟවිලා
මා සෙයූ නිල් මැණික
සංසාර සාගරේ මා සෙයූ කුල කුමරී...
සොයුREK
(ආරාධිත නිර්මාණ)
වසරකට පෙර දිලිසුණ තරුවේ කාන්තිය
අදත් මා මත සෙමෙන් වැටෙන විට
මා නෙතට කිසි දිනක දකිනු නොහැකි ලෙස
දීප්තිය විහිදමින්
ගතවුණු කාලයේ පමාව
ඔච්චම් කරයි අද දින මට
එදා සිත් බැඳ අවසන්ව
අද මා කරා නොඑන ආදරය
ඒ තරුවේ පිහිටෙන්
ලස්සනට අයිතිය කියන ඇස් දෙස
බලා සිටිය යුතුය තව කල්
එවිට ආදරය පැමිණ
අප සොයාගනු ඇත කොහේදී හෝ
බ්‍රිතාන්‍ය ජාතික සාහිත්‍යධාරිණියක වූ එලිසබත් ජෙනින්ස්ගේ "Delay" නම් කවියේ සිංහල අනුවාදනය
තිස්ස
ජම්බුද්වීපයේ සිට
මෙහි පැමිණියේ
තනිවම නොව
වටිනා යමක් රැගෙනය
තිස්ස දුර බලන්න
ලඟ නොබලන්න
මේ ධර්මය
ආත්මාර්ථය උදෙසා නොව
පරාර්ථය උදෙසාමය
මේ ධර්මය අද උදෙසා
පමණක් නොව
හෙට උදෙසාත්ය
තිස්ස මේ දහම
නුඹ වෙත පමණක් නොව
සසර දුක විඳින සැම උදෙසාය
එබැවින් තිස්ස
දුර බලන්න
ලඟ නොබලන්න
ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්