ගමට තිබුණු එකම හයිය
ගමේ පිනට තිබුණු සවිය
කපා දමා එක පහරින්
ගමේ එකම මහ නුග රුක
නිහඩ ලොවක උරුම ගත්ත
නිහඩ බවට ලකුණ ගත්ත
කපා දමා එක පහරින්
ගමේ නිහඩ මහ නුග රුක
හඩා වැටෙනු බැරි හින්දම
බලන් ඉන්න බැරි හින්දම
දෑස වසන් බලන් හිටියා
ගමේ දසුන මහ නුග රුක
කපා ගත්තු දෙයක් නැතී
තිබූ නොලැබි දෙයක් නැතී
අන්තිමේදී බිම හෙලුවා
ගමේ හයිය මහ නුග රුක
මට විශ්වයම කැටිකොට
ආදරය කේන්ද්‍රකොට
ස්නේහයෙන් පදම් කොට
නුඹ දුන්න
හාදුවට
අවසර ගන්නට
අමතක වුණත්
බලධාරීන්ගෙන්
හරි සුන්දරයි ඒ හාදුව
අවසරලත් එකකටත්
වඩා
අද අමුතු දවසක්මැ
අද අමුතු සුවයක්මැ
අඩශතක කවියයි
ලියන්නේ පලස මත
ඇරඹි බක් මසින්
සුබ මුහුරත් හිතින්
ඇවිත් බොහෝදුරක්
විඳිමි සිතින් ඒ තුටු
නොයෙක් මල්පෙති
නොයෙක් කටුහෙල්
මැදින් ඇවිදින් ඉතින්
බොහෝ වෙහෙසයි සිතට
ගිමන් නිවාලන්නට
හිතුනත් ඉඩදෙන්නට
මගේ පන්හිඳ තුඩු අගට
නැතේ එය ඉඩදෙන්නේ
ආ මග දෙස මම
හැරී බලනෙමි ඉතින්
නෙතින් තදකරන්
තුටු කඳුළු මල් ගොඩක්
තවත් දුර යන්න ඇත
ගමන අවසන් නැත
පලස මත සිතුවිල්ල
තබමි දිවි ඇති තෙක්ම
තරු පිපී ගනඳුරට එළිය වුණු අතීතෙක
නෙත් කෙවෙනි කකියනා කඳුළු කැට මත රැඳුනු
සිහින් සිහිලක් ලෙසින් සෙනෙහෙ සිත මත වැටුනු
නුඹ මගේ හදවතයි තනියටත් මට තිබුණු
වැහි වැටෙන තෙත බරිත ජීවිතය මත පිපුණු
ඉද්ද මල් කැකුළ නුඹ පෙති කැඩී අහිමි වුණු
මා නෙතට නුදුරෙ පිපි සුවඳ මහදට දැනුනු
පුංචි මල් කැකුළ නුඹ ජීවිතය කියා දුන්නු
ආදරෙයි නොකියුවත් වදනකින් කිසිදිනෙක
ආදරෙයි ඔය හිතට කකියනා තුරු මෙහද
ජීවිතය මත ඉන්න සඳට තරුවක් ලෙසින
එකම එක සරා සඳ මගේ හදවතේ රැඳුණු
අතටගෙන සිඹිනෙමි පරවූ මලක්
දැනුනි සුවඳක් නොමැති බව එහි
පරවු මල්පෙති අතට ගත්තෙමි
පුරුදු සුවයම නැවත දැනුනෙමි
නිලඹර නුදුරු සඳ දුටුනෙත සුපින්බර
පැහැබර ඇසුරු කලයුතු තෙම සුපින්සර
පැහැසර නුඹෙරු දුටු මගෙනෙත වරින් වර
නෙකයුරු සිහිරු සිහිවෙයි සිත සරින් සර
වනගැබ පුරා සැරිසරලා විටින් විට
නෙක්විද වරාමල් සොයලා පෙලින් පෙල
නෙත්ගැබ සරා නුඹෙරුවනා මලින් මල
හදගැබ පුරා පැතිරීලා ටිකින් ටික
ඇතමට යමක් සිහිකෙරුමට හැමදාම
සිතමට කියයි පැවසීමට නුදුරේම
එයමට බරයි රැඳවීමට සිතෙහීම
හිමිමට තමයි හැමදාටම නුඹ තාම
මුවපිරි සිනා පුරවමි එය සිතින් සුව
ඇයිබැරි සදා රඳවමි එය නමින් නුඹ
සුමිහිරි හදින් පිළිගමි හිමි රැවන් රැව
හදපිරි තුටින් පවසමි එය මුවින් මුව
සුපිපි පියුමකි
රැඳෙන නටු අග
පිපී ලතවෙන ජීවිතේ
නොයෙක් දුක් ලද
යලිත් හමුවෙන
තරම් පිවිතුරු මාවතේ
ලංව සිටි සැම
වෙන්ව යාවී
එයයි ලෝදම් ජීවිතේ
දුකකි කඳුලකි
නමුදු සැපතකි
රඟන අප මේ ජීවිතේ
නොපෙනුනත් ඔබට
රැස් දහර විහිදන හිරු
සෞම්‍ය කාන්ති පතුරන සඳු
දැනේවි හැමදාමත්
මගේ ආදර උණුසුම ඔබට...
දෑතේ වෙලී මාගේ
සදාදර සෙනෙහසද දෝතට ගෙන
ඔබ මා අසලින් හිඳ
සිනාසෙයි තනිවම.....
අඳුරු ලොවේ ඔබ ඔය ඉන්නා
හිරු සඳු වෙන්නෙමි මම
හැමදාටම......
ආදරේ ඔය හිතට
දැනෙනතුරු ලංව ඉන්නම්
උණුහුමෙන් ඔබ ලඟම
හිඳීවි මා හදවතත්.......
පැතුම් ගොඩක් හිතේ තියන්
නුඹ දිකින්න හිතන් මෙමා
ආදරේ පිරුණු හිතින්
ඇවිත්
අන්තිමට යන්න වුණේ
හිස් අතින්
ලේන්සුවට කඳුළු අරන්
සුදු හංසියේ නුඹත්
නුඹේ ආදරයත්
නොවන්නට අද
මගේ නමින් ඉතිරිවන්නට
තිබුණේ
අයිඩෙන්ටියත්
බැංකු පොතත්
පමණයි..
සිත් පිත් නැති ලෙස
ගලායන ගංදිය
ගලායාවී සමුදුර තෙක්ම
කරදිය සුවඳ දැනෙන තෙක්ම
ඉහිලීමට අපහසු වූවත්
නැවතත් සෙනෙහෙ සිතින්
හැරී එන්නට ගංදිය
නොකැමතිව ඇති
එබැවින්ය හැමදාම ගංදිය
සයුරටම ගලන්නේ..
හෙමින් හෙමින් ඇවිදින්
සිඹ වැළඳ පෙම් සිත
නිවා සනහනු බෑ
ගිනිගෙන දැවෙන පෙම් හිත...
සිනා තෙපුලක්
පුදා පෙරලෙසින්
තබා සීතල සුරත හිසමත
සීතල කරනු බෑ
ගිනි පුපුරු නගින මේ හිත...
සරා දස අත
මවා තුටු රූ නෙත් අභියස
කලඹා නෙත්විලම
මුලා කරනු බෑ
නුඹ හඳුනන මේ හිත...
ගිනිගෙන දැවෙන විට
පෙම් සමරු අයෝධ්‍යාව
හැර ගොසින් මේ දිවිය
පුරවනු බෑ
නුඹ තැබූ මේ හිස් තැන...
ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්