twitter rss

සළුවඩන්නී

:::ලිපි වර්ගය:::


පාත ඇළ ලඟ රිදී බැම්මේ
ඇහැල ගහ යට හැන්ඳැ වරුවේ
පෙනි පෙනී වෙල් නිල්ල මානේ
නුඹෙ රුවයි ලහි ලහියෙ එන්නේ

කරඹ මල් කැකුලක් අරන්
එහි සුවඳ මුසුවී බලා ඉන්නේ
පොට්ටෙනිය හිස තබාගෙන විත්
ගිමන් හරිනා නුඹේ රුවමයි

දහඩියට නිසි ලංසුවක් නැති
ජීවිතය හරි මගක් දන්නැති
මනුසතුන් මැද දිවිගෙවන්නට
රෙදි ගොඩක් සරණට එන්ට ඇති

අඳින සළු නිසි පාට අගනට
ඔප කරන්නට වරම් ලැබුනට
එවන් සළු නුඹේ ගතේ රැඳුමට
පිනක් නොලදැයි කියමි කෙලෙසක

කුලවතුන්ගේ හිත් හදන්නට
පා මගට බැස නිතර පෑගෙන
මලක් දුටු විට පුරුදු විලසම
මැවෙන්නේ නුඹෙ රුවයි ඒ මත

පව් කලත් සිල් සළුව වැසුනට
ඒ පවත් නුඹෙ අතින් හේදෙන
බවක් ඒ අය දන්නවානම්
පිනක් නොලදත් කමක් නෑ නුඹ

පාත ඇළ ලඟ කිලිටි හෝදන
නුඹට හිමි තැන ලොවම නුදුටුව
හැන්ඳැ වරුවට වගෙම දවසෙම
හිත් පුරා නුඹෙ සළු අඳී හිත





Contentment

:::ලිපි වර්ගය:::

නුඹ විකසිත වන විට
උසම උස අතු මත
වෙලී මම සුවය ලබමි
නුඹ පිපුණ ගසේ මුල

හීන හැන්ඳෑව

:::ලිපි වර්ගය:::

සිනිඳු සුසිනිඳු හදක්වත් නොදන්නා හීන
පණක් කටහඬක් නැති
නලියන්න හිතක් නැති
දඟලන්න ඉඩක් නැති
හැන්ඳෑවකට කොහොම දැනෙයිදෝ

ඉඩක් නැති හදක් තුල
ඉඩක් සොයමින් තැවෙන
හදක් නිති ඉකිබිඳින
බව නොදනී හැන්ඳෑවද


නිසල වීමි

:::ලිපි වර්ගය:::

මා වවුලන් කෑගැසුම
යාන්තමින් ඇහෙන
සීතලක රැයක
තනිකඩව
රියන් හතරේ
සොහොන් ගැබ
නොසොයනා සැඳෑ සුව

පරවි කුමරියක්ව ඔබ
සුදු සේල රැලි අතර
ඔත්පලව වැතිර ඇති
මල් යහනේ මුමුණුවට

කලක් ගතවී නැතත්
මලත් මම තනිකඩය

 

සමනලයින්ගේ සංධ්වනිය

:::ලිපි වර්ගය:::


පුරුදු සුවය නොවුණත් මිහිමත
දැන දැන පිපෙන මල්
පෙරකල සිත්හි වැදී
සුළඟට මුසුවූ සුන්දර සැමරුම්
සිහිනෙන් අවදිවනවා සත්තයි දිනකදී යලිත්
නොමැකෙන්නට ජීවිතයෙන්
හීනයක්ම පමණක් වී

හිරිමල් ස්වරය තවමත් නොහඬන හදින්
අසයි නොයනා දුර සවනේ මානයෙන්
හිතට හිත සැනසූ සොඳුරු රූ අතර
නොමියෙමි නොමියෙමි වසා දෙනුවන්
ඉපදෙන්නට යලිත් නොදුටු හීනය තුලම

හදවතේ ගැස්මක් ගැස්මක් පාසා
නෙතු සැලෙන වාරයක් වාරයක් පාසා
පා තබන පියවරක් පියවරක් පාසා
ආදරෙයි තවමත් නොදුටු හීනයට
තවමත් හිතෙහි පැලපදියම්ව
දිවියම උසුලාගෙන යන






ඇවිදින්න සංසාරයේ

:::ලිපි වර්ගය:::

එන්න යමු අපි ඇවිද
හිත මිතුරු සුළඟ සමග
හමා එන සිප අප ගත සුවය
යමු ඉතින් පිළිගෙන තුටින්

සිත් විඳගත් සැනසුම් පුස්ඹ
නොලද බොහො කලක සිටම
එක හුස්මට පෙම් බැඳි මේ සුවය
තව තව කොහොද හිත සැනසීම මිස


සංසාරය බොහෝ දුරය දැන්
එතෙර වන්නට හිත දිරිය මිස
නොමැත සරණක් අප හිතට
දෙසූ දම් අසා සිත නිවනට

ඇවිදින්න යමු අපි ආයෙත්
සුමට සුමුදු මාවතේ
හිත සුවය නිති රැඳේ
බුදු බණ පදයේ අරුතේ





ඉමක් නැති තැන..

:::ලිපි වර්ගය:::

සුදු පිරුවට හීන හිමකැට
නිදි සුවය ලද කියතෝවට
ආදරයේ හීන අරගෙන
නුඹ එනවද
දෙවෙන්දොර සං
තාම මග 
බලන් ඉන්නවා මං


 

ප්‍රසිද්ධ පොත

:::ලිපි වර්ගය:::

නුඹ යන්න ගියාට පසු
දැනුණ ආදරේ
ලිව්වා මම
පොතක් විදියට

පොත මාර ජනප්‍රියයි
ඒත් මම හරි
අප්‍රසිද්ධයි



මුසාවාදනය

:::ලිපි වර්ගය:::

හද්දා පිටිසර
තනිකම පෙන්නාගෙන
ඇඬුවට බොරු ඇස්දෙක
ඇත්තටම නම් නුඹ
තාමත් ඔහු ලඟ
එදා වගේම
මටත් නොදැනෙන්නට



බැරිම තැන

:::ලිපි වර්ගය:::

ආලය නැමති කටු ඔටුනුද
පැළඳි හෙයින්
හිත නිදහස නම් හිසෙන්
රුහිරුද ගලයි යෙහෙන්



නොමියෙමි...පබවත

:::ලිපි වර්ගය:::


ඉසිලු පබවත රුවැති අභිමන
නුවණ සකිසඳ බොහො එසේ
පැරද සිතරැඳි නොනිම් සිතිවිලි
ඇය වෙතම නිති වූ ලෙසේ

රුවට හිමි නැති ඔමරි සිනහව
වැරදි වී දෝ ඒ ලෙසේ
සසර වුව කෙලවරක නොමවන
පැතු පැතුම් නික්මී මෙසේ



හීන මන්දාරම

:::ලිපි වර්ගය:::

මුවින් ගිලිහෙන වදන් වැල් ගෙන
හදෙහි පතුලත හිරකරන්
දුකක් ෙවෙලෙමින් හදත් කකියන
විටක එවදන් සිහිකරන්
කලක් නික්මෙන සිනහ මුතුවැල්
දෙනෙත් අභියස මතුකරන්
විලක් මෙන් මල් පිපී දිලිහෙන
සුවඳ දී නුඹ හිනැහියන්


ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්