twitter rss

තරු කැට කුමරිය..

:::ලිපි වර්ගය:::

හීන් දොඩමළු සුළඟ නොවේ
නුඹේ පහස දන්නේ
නලළ සිඹින සැඩ කිරණ නොවේ
නුඹෙ සෙනෙහස දන්නේ
ගත දෝවන දා බිඳුද නොවේ
නුඹෙ සුවඳ දන්නේ
ඇස් දෙක දිස්වන ලොවම නොවේ
නුඹෙ මුදු පැහැ දන්නේ

සිහින ගෙනෙන නුඹ තරු කුමරී
හදවත පුරා ඇඳී
සිතුවම් නොමැකී රැඳී ඇතී
වෙන් නොවනා තරමේ
මොහොතක් ඇවිදින් සිනාසෙන්න
හදවත විඩා නිවා
තරහද තවමත් එදා වගේ
පුංචි දේටත් හිනා වෙනා


පලමු පෙම්පත

:::ලිපි වර්ගය:::

අවුල් වියවුල් ලිපිගොනු
කලබලෙන් පෙරලද්දි
හමුවුනා දිරාගිය
පරණ හුරුපුරුදු කඩදහියක්

අමතකව ගිය සුවඳක් එහි
යන්තමට දැනුණි මට
සිහකලෙමි මතකයට
එහි රැඳුනු අම සුවඳ

බොහොකලකට පෙරාතුව
එකම එක සොඳුරු දින
නුඹ අතින් සිරුවට
ලියා ආදරෙන් මා වෙතට

පොත් පිංචක සඟවා
සෙනෙහසින් දුන් මුල්ම
ආදරේ සමරුවයි
අද මෙසේ මා අතේ

ආදරය කල් පිරී
බොහෝ කල් අවසන්ය
දිරාගිය පෙම්පතට
ආදරෙයි මම තවත්
දරාගනු බැරි ලෙසක
තබා ගැහෙනා පපුවට


අකුරක් අකුරක් පාසා ලියනා ආදරය ..

:::ලිපි වර්ගය:::

කෙටි පණිවිඩයක
අකුරක් අකුරක් පාසා
ආදරයෙන් ගෙත්තම් කර
නුඹ වෙත යොමුකර
නුඹ එය ඇඟිලි  තුඩෙන්
හරි හදිස්සියට
එහෙට මෙහෙට කර
මකා දමන සඳ
වසර ගණනක සැමරුම්
මැකීයාවිද හැබැවින්
-----------
ආඩම්බර  කිරිල්ලියේ
ජීවිතේ පන්හිඳෙන්
ගලයි ආදරේ 
හරි ඉක්මණින්



නුඹ නමින් විඳවමි අදත්..

:::ලිපි වර්ගය:::

කාත් කව්රුත් නොමැති හිතමත
තබා නුඹ නොමැකෙනා මතකය
දමා ගොස් මේ නුවර තනියට
හිඳීවිද මගේ හිතත් මේ ලෙස

රැඳී උන් අප හදින් ලංවී
දිනෙන් දින හිත පෙළුනු සෙනෙහස
දුරින් දුර නුඹ පා තබා
ගිහින් සමුගෙන මතකයෙන් තව

නොඑන බව නුඹ හිතද කීවද
නොපිලිගෙන එය දඩබ්බර හිත
හිතට තනි රැකි නුඹ සොයමින්
සරනවා හිත ඉමක් නොමැතිව

කාත් කව්රුත් නොමැති හිතමත
තබා නුඹ නොමැකෙනා මතකය
දමා ගොස් නුඹ.......................


නුඹට විතරක් හිත ඇතී

:::ලිපි වර්ගය:::

එකම එක මොහොතකට
අහිමි සෙනෙහස 
මතකයෙන් අමතක කර
නුඹ
ආදරෙයි කීවත් ලොවටම
හැමදාම නොවෙනස්
ලෙසකට
අදරෙයි මමනම්
ඔය
මුළු අහසට

නිබ්භාන ගවේසි..

:::ලිපි වර්ගය:::

රිසි රිසි දිවි කඳ
කුමට තව දුර
නුඹ නොවෙද
දැන උන්නේ
නොතිර බව
මේ සසර

ඉන් ඉක්බිති
සොයා නිවනේ සුව
යන්ට නුවණැති මග
ඇල්ම තිර ලෙස දැනේ
පසක් වූ සඳ
මෙලොව නිරා දුක

සොයා යන්නට එ සුවය
සසර බැමි නිමා කොට
විලංගුලූ පා
මුදාලනු මොහොතකට



ආගමනය

:::ලිපි වර්ගය:::

නුඹ හෙමින් හෙමින් ඇවිදින්
හද මැදුරු කවුලු අතරින්
ඉකිබිඳින නයන සනසන්
පෙම් පවන් පොදක් විලසින්

දෙකොපුලට මියුරු අයුරින්
වැදි සුසුම් පවන් රොදකින්
යලි නොකී කතා වැලකින්
නුඹ හෙමින් හිතට ඇවිදින්

පපුතුරෙහි නිදන් සැනෙකින්
සිපගන්න දෙතොල් තෙමමින්
යලි එන්න සිතා සැනහෙන්
නුඹ යන්න සෙමින් ඇවිදන්


අතර මග

:::ලිපි වර්ගය:::

ගැස්සෙන දුම්රිය
රළු පරළු හඬ අතර
නින්දකට තිබුණු
අවකාශය
උදුරගෙන ඔබ

නින්ද නොනින්ද අතරේ
පෙනෙන නොපෙනෙන
ඔබේ රුව....


සිතුවිලි පලස “කවි සිතුවම්“ අංගයට හල්මිල්ලගොඩ අනුක ජයංග
විසින් එවනූ ලැබූ සිතුවමකට ගෙතූ පදවැලකි
(ඔබේ සිතුවම් එවන්න wijaindu@gmail.com)

වලා අඳුර මත විනිවිද...

:::ලිපි වර්ගය:::

එකම හීනය දුටුව දින ගණනක්
නොනිද එක ලෙස එකෝමත් එක
කාලයක හුන් හුදකලා සිත
යලිත් එලෙසින් විකසිතව ඇත

තනිවමුත් අද නොමැත සුපුරුදු
තනිකමින් තෝර ලෝකයක මම
මතක අතරේ රැඳෙන සිතුවම්
අඳිනෙමි හදවතින් නෙක ලෙස

දුරක යන සිත පසු කරන් මිරිඟුව
නොවලකමි මම එක් වරක් වුව
සා පිපාසෙන් නොඑනු යලි නුඹ
නුඹට හිමි මිරිඟුවත් නුඹෙමය


ඇසිල්ලක්ය නුඹ

:::ලිපි වර්ගය:::


පිවිතුරු අහසක
නොඳුටු සඳ 
දුටුවෙමි මම 
නුඹේ නෙතු මත
----------
නුඹ සිතුවිල්ලක් කර
ලියනට පද වැලක්
නොලදිමි අවසරයක්
දුටුවිට යලිත් නුඹ නෙතු
---------
නුඹ ඇස්පියාගන්න 
මොහොතක්
ඉඩදී මට
ගන්නට හුස්මක්


නැවතුම් මංසල

:::ලිපි වර්ගය:::

සඳ අහස මත විකසිත
වන දිනක් ඇඟිලි ගැන
රිඳුම් දෙන විටක යලි
සොඳුර නුඹ යලිඳු මෙහි

තුන් වසක් යොමා නෙත
ඉවතට නොහැරී සිතිවිලි
දිනක විකසිත වෙයි සිතා
පැමිණි දුර නිමාවට ලඟයි

කෙලෙසින් මේ මංසල
පසුකර යම්ද යලි
නොදැනුන පෙම නුඹට
වන්දිය නොගෙවුනිද තව

සිතා මහ දුර පැමිණි
අද හෙටින් අවසන් වන
මිට මෙලවු දෙඅත මත
රැඳුණු පෙම ගිලිහෙයිද

රිදුමකට නොතබා ඉඩ
සිතිවිලි අගුලු ලා යලි
හැරෙන දිගු මාවතට
ඉතිං ආයුබෝවන් යලි




නිදහස...පසුපස...

:::ලිපි වර්ගය:::


වෙල් ඉපනැල්ලේ නියර පිස එන
සිහිල් මදනල සමග මුසුවුව
ඉබිගමන් යන හිරු රැසේ ගිනි
මතින් දහවලට පැමිණුන
ලබැඳි හිත් මත සිනහා රැලිගෙන
ගත සුවය මත නිතින්  රජ කල
කුඩා කල සිට දරා දෝතට
යහමින් රැගෙන පැමිණි දිගු දුර
දෑතින් තදකර තෘප්තිමත් හිතින්
රැකගත් විඳගත්
සුවිසල් නිදහස
නොමැති කරගත් සඳ
හිතට අවනත නොවූ හැඟුමට වහල්ව
දැනෙයි නිදහස
නුඹ ගියේද යලිත් සුපුරුදු
වෙල් ඉපනැල්ලටම
ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්