නුඹ හෙමින් හෙමින් ඇවිදින්
හද මැදුරු කවුලු අතරින්
ඉකිබිඳින නයන සනසන්
පෙම් පවන් පොදක් විලසින්
දෙකොපුලට මියුරු අයුරින්
වැදි සුසුම් පවන් රොදකින්
යලි නොකී කතා වැලකින්
නුඹ හෙමින් හිතට ඇවිදින්
පපුතුරෙහි නිදන් සැනෙකින්
සිපගන්න දෙතොල් තෙමමින්
යලි එන්න සිතා සැනහෙන්
නුඹ යන්න සෙමින් ඇවිදන්
ගැස්සෙන දුම්රිය
රළු පරළු හඬ අතර
නින්දකට තිබුණු
අවකාශය
උදුරගෙන ඔබ
නින්ද නොනින්ද අතරේ
පෙනෙන නොපෙනෙන
ඔබේ රුව....
සිතුවිලි පලස “කවි සිතුවම්“ අංගයට හල්මිල්ලගොඩ අනුක ජයංග
විසින් එවනූ ලැබූ සිතුවමකට ගෙතූ පදවැලකි
(ඔබේ සිතුවම් එවන්න wijaindu@gmail.com)
එකම හීනය දුටුව දින ගණනක්
නොනිද එක ලෙස එකෝමත් එක
කාලයක හුන් හුදකලා සිත
යලිත් එලෙසින් විකසිතව ඇත
තනිවමුත් අද නොමැත සුපුරුදු
තනිකමින් තෝර ලෝකයක මම
මතක අතරේ රැඳෙන සිතුවම්
අඳිනෙමි හදවතින් නෙක ලෙස
දුරක යන සිත පසු කරන් මිරිඟුව
නොවලකමි මම එක් වරක් වුව
සා පිපාසෙන් නොඑනු යලි නුඹ
නුඹට හිමි මිරිඟුවත් නුඹෙමය
පිවිතුරු අහසක
නොඳුටු සඳ
දුටුවෙමි මම
නුඹේ නෙතු මත
----------
නුඹ සිතුවිල්ලක් කර
ලියනට පද වැලක්
නොලදිමි අවසරයක්
දුටුවිට යලිත් නුඹ නෙතු
---------
නුඹ ඇස්පියාගන්න
මොහොතක්
ඉඩදී මට
ගන්නට හුස්මක්
සඳ අහස මත විකසිත
වන දිනක් ඇඟිලි ගැන
රිඳුම් දෙන විටක යලි
සොඳුර නුඹ යලිඳු මෙහි
තුන් වසක් යොමා නෙත
ඉවතට නොහැරී සිතිවිලි
දිනක විකසිත වෙයි සිතා
පැමිණි දුර නිමාවට ලඟයි
කෙලෙසින් මේ මංසල
පසුකර යම්ද යලි
නොදැනුන පෙම නුඹට
වන්දිය නොගෙවුනිද තව
සිතා මහ දුර පැමිණි
අද හෙටින් අවසන් වන
මිට මෙලවු දෙඅත මත
රැඳුණු පෙම ගිලිහෙයිද
රිදුමකට නොතබා ඉඩ
සිතිවිලි අගුලු ලා යලි
හැරෙන දිගු මාවතට
ඉතිං ආයුබෝවන් යලි
වෙල් ඉපනැල්ලේ නියර පිස එන
සිහිල් මදනල සමග මුසුවුව
ඉබිගමන් යන හිරු රැසේ ගිනි
මතින් දහවලට පැමිණුන
ලබැඳි හිත් මත සිනහා රැලිගෙන
ගත සුවය මත නිතින් රජ කල
කුඩා කල සිට දරා දෝතට
යහමින් රැගෙන පැමිණි දිගු දුර
දෑතින් තදකර තෘප්තිමත් හිතින්
රැකගත් විඳගත්
සුවිසල් නිදහස
නොමැති කරගත් සඳ
හිතට අවනත නොවූ හැඟුමට වහල්ව
දැනෙයි නිදහස
නුඹ ගියේද යලිත් සුපුරුදු
වෙල් ඉපනැල්ලටම
මහ වැස්ස වී නුඹ ඇදහැලෙන්නේ
වැහිදියෙන් හද තෙතබරිත යාමේ
ඝන අව්ව වී නුඹ එලිය දෙන්නේ
දහදියෙන් ගත රිදවනා යාමේ
ඉකිබිඳින වැස්සට මංමුලාවුන
හෙවණ නැති එක ගසක අභියස
ඉර අව්ව නැති කලක වෙවුලන
සීතලේ මම රැඳුනි එතැනම
නුඹ සැඟව ගිය එක
දවසකට
දාහයෙන් ගත පෙලෙන සඳ
තවත් ගිනියම් හිරු මඩල ගෙන
නොඑනු මැන දිවි කතර බිම වෙත
ජීවිත සලපතල මළුව මත
පැදකුණු කරන සඳ නිසොල්මන්ව
පා ගැටෙන සිහින් වැලිකැට
රළු බොරළු මෙන්ම
ගොරහැඬි රිවි කිරණ
රිදුම් දෙන සඳ මුළු මහත් සිරුරටම
අවදිවන ප්‍රඥාවටත් ඉහලින්
දැනෙන යමකට පෙම්බැඳ
නොනවතින
මේ ගමන
නොනිමි අග
නුඹ නොහිටින්නට
සසරෙන් මා එතෙරව බොහො කල්
භවයෙන් භවයේ
මා සමගින් එන
පෙම්හුය නැතිනම්
භවයනේ මා ගිලිහී බොහො කල්
රළු මං පෙත දිවියේ ඉම නොමදැන
අත් පා කකියන විටදි මගේ
කෙලෙසුන් දුරුකර සසරින් ගිලිහෙන
මං පෙත් ඇති මුත් ලොවට මගේ
භවයෙන් භවයට මා හද හඳුනන
නුඹ පෙම ඒ මඟ අහුරා පිබිදෙන්නේ
බෝසත් හිමිවරු දැහැනට සමවැද
අනියත දුක කෙලවරට ඇඳෙන සඳ
අභිනික්මනටත් පෙමින් අඩක් දෙන
යසෝදරාවන් කොහෙද ලොවේ
භවයෙන් භවයට මා හද තදකර
නුඹ පෙම ඒ මග අහුරා පිබිදෙන්නේ
බැඳිය සුරපුරක සුලඟත් රැගෙන එන
සිඳිය සිත්තුටින් මාතොට දසුන් ගෙන
බඳුය මෙ පඹුරණ ගම් සුවබර හැඟුම් දෙන
බඳුය රන් තොරණ බඹලොව තුලට එන
වනා කේශ රැලි මාලා රන් දාම
උනා සිහින සළු තුසිතෙන් බැසි යාම
සිනා සෙන ලියන් මෙපුරේ සිරි සේම
සිනා නොව බලන් සිත් ඇති ගුණ දාම
සිරිය වසන මාතොට අභිමන් මෙහිය
සිරිය රකින තෙදවත් මහ දන බලය
සිරිය දකින නෙත් ලොල්වී යන ලෙසය
සිරිය මෙ පඹුරණ පුර වැනුමත් තුටුය
සියපතක පෙති මුකුලිතව ගිය
එකම දවසක ගොම්මනේ
හදවතක ගිනි දළු නිවන්නට
සිහිකලෙමි නුඹ සක්මනේ
ලඳළු වන පෙත ඇවිද ගිය එක
දිනක සිහිවටනය දිගේ
ඇවිද යමි හද පුපුරු ගසනා
විටක පෙම්වත් මාවතේ
නුඹද වෙනතක මමද තනිවම
දිවිය දෙපසක දුර ඇදේ
හදක හඳුනන සොඳුරු මතකය
විල්තෙරක තනිවී ඇතේ
අතපය ලාලිතව සොලවමින්
සරාගී සිත් ගත් ලෙසින්
රඟන විට නුඹ රඟමඩල මැද
ඇතැමෙක් ලොබින් බලයි
නුඹ දිහාව
සිත සොවින් පිරේ නුඹ ගැන
නුඹ මගේ නුඹ මගේ
නුඹත් මගේ නුඹෙ රුවත් මගේ
උන් බලන්නේ නුඹෙ නැටුම නොවේ
නෑඹුල් මලක් වැනි රන් රුව නුඹේ
සිත ඉවසනු බැරි ලෙස ගැහේ
රැගෙන නුඹ මේ රඟමඩලින්
නික්ම දිවයන්නට සිතේ
කාත්කව්රුත් නැති ඈත මිටියාවතට
එවිට නුඹ මගේ නුඹ මගේ
කෑ ගසා පැවසිය හැක
හිස් අවකාශයට වුව
එහෙත් ඇත්තට නුඹ මගේද
සදහටම නුඹ මගේද
දිනක නුඹ සිත මෙන් කයද දමා
යන්නට වනවා නොවෙද
මදින් මද වැටහුණු
අනියත ලෝ දහමේ සත්‍ය
නුඹටද එක ලෙසම වග
නැගිටිමි අසුණින්
පිටව යමි රඟ මඩලින්
“කවි සිතුවම්“ වෙත ඡායාරූපය එව්වේ දඩල්ලේ හර්ෂණ අධිකාරි
දුක පමණක් නොව
සැපද
එකලෙසම නොවුනද
හැකි පමණ
බෙදාගැනුමට
අවැසිය මිතුරියක්
මටත් අද හෙට
නිහඬ බව රජයා
සුපුරුදු මූසල බව වෙනුවට
කෑගසා සතුටු වෙන
වදනින් වදන හිතවත්වන
මා වැනිම
හිතවතියක්
මහපොලව මතම සිට
පයගසා කල් ගෙවන
හිත මතම හිත තියන
සොඳුරු හිතවතියක්
අවැසිය මා හට
අවැසි බව දැනෙන ලෙසම
අපි ආගිය තැන්
කී වදන් වැල්
අමතක කලතු නුඹ
අරුම හිනාවකින්
කෙසේ අමතක කරමිද
මා මත තැබූ
මතක පොදි
නැවත නොලිහා තදකර
නුඹ කියන විලසට..
එහෙත් නුඹට සැප
වලලන මතක නම්
වලලමි සුසානයේ
යළිඳු ගොඩ නොගන්නට
එවිට ඇවිත් සිනාසෙන්න
සුසානය අසල සිට
යලි ගොඩ නොඑනි මතක දෙස
බලා සිත සැනසුමෙන්
සංසාර සාගරේ මා සෙයූ කුල කුමරී
රෑ අහසේ තරු ගානේ මා සෙයූ ඒ කුමරී
මල් සිනා කැන් පා මා හදේ සැඟවුණා
නෙත් යායේ මා සෙයූ
ඈ දිනක හමුවුණා
නෙත් පහස ලැබගන්න
හිඳිමි ඔබ එනතුරා
සංසාර සාගරේ මා සෙයූ කුල කුමරී...
සිත්යායේ පාවෙනා
නෙත් මානේ හිනැහෙනා
මා දෑස පිනවනා
මා කුමරී ඔබේ සිනා
සිත් මානේ සැඟවිලා
මා පැතූ නිල් කුසුම
සංසාර සාගරේ මා සෙයූ කුල කුමරී...
හදගැස්ම මගේ ජීවේ
ඔබ ගාව පුදකලා
හැමදාම මා එක්ක
නුඹ ඉන්න මා කුමරී
පෙම් සිතේ සැඟවිලා
මා සෙයූ නිල් මැණික
සංසාර සාගරේ මා සෙයූ කුල කුමරී...
සොයුREK
(ආරාධිත නිර්මාණ)
වසරකට පෙර දිලිසුණ තරුවේ කාන්තිය
අදත් මා මත සෙමෙන් වැටෙන විට
මා නෙතට කිසි දිනක දකිනු නොහැකි ලෙස
දීප්තිය විහිදමින්
ගතවුණු කාලයේ පමාව
ඔච්චම් කරයි අද දින මට
එදා සිත් බැඳ අවසන්ව
අද මා කරා නොඑන ආදරය
ඒ තරුවේ පිහිටෙන්
ලස්සනට අයිතිය කියන ඇස් දෙස
බලා සිටිය යුතුය තව කල්
එවිට ආදරය පැමිණ
අප සොයාගනු ඇත කොහේදී හෝ
බ්‍රිතාන්‍ය ජාතික සාහිත්‍යධාරිණියක වූ එලිසබත් ජෙනින්ස්ගේ "Delay" නම් කවියේ සිංහල අනුවාදනය
තිස්ස
ජම්බුද්වීපයේ සිට
මෙහි පැමිණියේ
තනිවම නොව
වටිනා යමක් රැගෙනය
තිස්ස දුර බලන්න
ලඟ නොබලන්න
මේ ධර්මය
ආත්මාර්ථය උදෙසා නොව
පරාර්ථය උදෙසාමය
මේ ධර්මය අද උදෙසා
පමණක් නොව
හෙට උදෙසාත්ය
තිස්ස මේ දහම
නුඹ වෙත පමණක් නොව
සසර දුක විඳින සැම උදෙසාය
එබැවින් තිස්ස
දුර බලන්න
ලඟ නොබලන්න
ඇසී නින්දෙන් අලුයම
දඟලතියි සිතා මී රැල
සූ සූ ගෑවෙමි තදින්
රේඩියෝවේ ගීතයකට...
කලකට පසු එක් මද්දහනක
ජනාකීර්ණ වීදීයක එක් පසෙක
ගලන ජන ගඟ මැදින්
නෙත ගැටුණු නෙත් යුගල
මින් පලමු කොහේ හෝ
දුටු බවට හිත කියන
කතා වැල නිමක් නැත
හිතට නිදහසක් නැත
ඇවිත් නිවසට පසුව
අමතක කල නෙත් යුගල
පිටපත් වෙලා මෙන්
නෙතු මතම ඇඳී ඇත
නිදි නැති රැයෙන් පසු
හිරිවැටුටී දරදඬු වූ හිත
උදෑසන අවදිව සොයන
අලුත් ඉර කොහිද අද
අලුයමක හිරු කිරණ
වැටි වැටී කකියවන
දෙනෙත් මත දඟකරන
සිහින පොදි සැඟවීද
නුඹ පෙනුනු සිහින වල
රැයේ හදවත තැලුව
අමතකව යනු පිණිස
හමයි අලුයම හුලඟ
සිතුවිල්ලෙන් සිතුවිල්ල ගලපමින
ගතවිනි වසර දෙකක්
හදවතින් හදවත අමුණමින
ගතවිනි වසර දෙකක්
හදවතේ ගැඹුරුම තැනින් එන
සොඳුරු නිමැවුණු පද පෙලට ගෙන
කවි හිතැති හිත් හදන අටියෙන
ලියූ පද අද ඉතිරි වී ඇත
සතුටු කඳුළැලි නෙත රැදෙන්නේ
නෙතට බර නැති කවි රැඳෙන්නේ
සිතට ලතැවුල් නෑ දැනෙන්නේ
හෙටද හමුවෙමු මේ ලෙසින්නේ
රසබර මතක එක පිට එක මතුවන්නේ
හිත මුල බැඳුනු කෙලි පොඩි රැල සිහිවන්නේ
අද තනිකඩව මුමුණන හිත පෙරලෙන්නේ
එවිටම පපුව හොස් හොස් ගා දඟලන්නේ
රූබර කැකුළු මල් නෑරම තැලුව මම
ආදර වදන් මත තෙලිදිය තැබුව මම
චාමර පවන් සලමින් පෙම පිදුව මම
කාමර දෙකක ගෙදරට අද හිරව මම
සිනා මලක් නැත පෙනෙනා තෙක්මානේ
වනා දමන සුළඟත් සුව නැති මානේ
ගෙනා සතුට දොරකඩ නැවතුන හීනේ
පනා කුමට තට්ටය ඇති කල නෝනේ
රතු රෝස මල් පෙත්ත සුළඟේ රැඳී
ඉඟිමරණ නෙත් කැල්ම දෙනෙත් වැදී
ජීවිතය වෙත පාව ආවේ යලී
ආදරය පුබුදන්න ඔබ වී යලී
හිත තාම නිදිවරණ රෑ සඳ මෙනී
ඔබ නේන වග දැනම ඉවසයි යලී
නෙත් අතර ඔබ රැඳුනු දින යලි දැනී
ඔබ එන්න ලංවෙන්න පෙර සේ යලී
රතු රෝස මල් පෙත්ත හදමත වැදී
ඉඟිමරණ නෙත් කැල්ම තනිවී හිඳී
ආදරය වෙත පාව අවේ යලී
ජීවිතය පුබුදන්න සහිනේ යලී
පණ ගැහෙන හදවතට සුසමක් වෙවී
දුක්විඳින ජීවයට සතුටක් වෙවී
නෙත් මානයේ ඉන්න පිපිලා යලී
ආදරය ඔබ නොවෙද රැකගත් යලී
රතු රෝස මල් පෙත්ත නෙත් මත හිඳී
ඉඟිමරණ නෙත් කැල්ම තවමත් රැඳී
ආදරය හදවතෙහි තබලා යලී
ජීවිතය පුබුදන්න හිනහෙන් යලී
අරුමයක්ද උපත හා විපත
දැන දැනම නර්තනය ජීවිතය මත
උඩ පැන දඟලා නොනැවතී
රඟා වයා මහ අණබෙර
කියනු මැන අරුථ මේ ජීවිතේ
රඟන අප සීමා මායිම් රහිතව
කියනු මැන අරුථ මේ ලෝකයේ
ජීවිතේ මුල් තැන තබා රකින මුනිවත
අමුම අමු
අඹයක් වැනිය
දුර සිටින උන්
ලොබ බඳින
රසවිඳින් උන්
හිරිවැටී විඳවන
හඳ ඉතිරි අහසක
තරුවලට ඉඩ නැති සඳ
නුඹ ඔතන
මම මෙතන
බලා සිටිමිද
තවත් බොහෝ කල
සියක් ආයු ලබනට නොව
සියක් වස්තු ලබනට නොව
සියක් පදවි ලබනට නොව
සියක් දහක් සිත් සදනටමය
සියක් සෙනග නැති මා හට
සියක් දෑත් නැති මා හට
සියක් දෙඇස් නැති මාහට
සියක් වටින හිතක් සතුය
සියක් දුරක් යන්නට නැත
සියක් දුරක් පැමිණත් ඇත
සියක් වටින සිතුවිලි ඇත
සියක් තුටින් කියවිය හැක
සියක් පැතුම් අද නැහැ මට
සියක් සුසුම් වටිනව මට
සියක් පැතුම් කුමටද මට
සියක් උසැති කවි ටික ඇත
සුපුරුදු සුවඳ නුඹෙ වරලස වෙතින් ඇදෙන සුබදිනයක
නුපුරුදු සිනා රැල් නැගුනේ ඇයිද නගේ දුටු විගසක
නලමුදු සුවඳ විඳ ගතසිත පුබුදු වෙතේ හිමිදරියක
මගෙමුදු සිතට නුඹෙ සිනහව පහන් රැසකි බෝ මලුවක
ලප නොමවන් සඳක් නොවූවත් නුඹ
හුදෙකලා පහන් දැල්ලක්ම විය
අවැසිකල හිත දිදුලවන
නිබඳවම ලඟ රැඳෙන
මහා සයුරක් නොවූවත් නුඹ
එකම දිය පොදක් විය
හද පවස නිවන අද
පිසදමා හිත විඩාබර
මිණිකැට ගොමුවක් නොවූවත් නුඹ
එකම සම්පතක් විය
දිවිය සුවපත් කරන
මියෙන් හිත පණපොවන
මහනුවර තුසන්ත සම්පත් සොයුරා විසින් එවූ ඡායාරූපයකට ගෙතූ කවි සිත්තමකි, ඔබේ සිත දිනූ රූ කවි සිතුවම් වෙත එවන්න wijaindu@gmail.com
වරුවක් සිත ලඟ නතරවෙලා
තරුවක් ලෙස ඉන්න
වැස්සක් වී අහසින් වැටිලා
පින්නක් වී දැවටෙන්න
නෙත්මානයේ රුව දසුන් මවා
හදමානයේ නැවතී ඉන්න
සිසිලක් වී හද සලිත කරවනා
මතකයේ ඔබේ රැඳෙන්න
එක වරක් ඉඩදෙන්න
හද ස්වරයට ඉකිබිඳින්න
ඒ ස්වරයේ කියෙවෙනා
එකම වදන දැනගන්න
කඳුළක් වුනු මම ම
සතුටක් වුනේ නුඹටම
නොවේ ගෙවන්නට ණය
කඳුළක් වුණු බැවින් මම
සතුටක් නගා සොඳුරු මුව මත
ලැබූයෙමි අපමණ තුටක් හද මත
නොවේ එය සරදමක්
ජීවිතයට නුඹේ තව වරක්
අවැසි මොහොතේ ලඟින් සිට
නොසිටියත් දැන් ඉතින් හෙට
නොවේ එය නුඹ හට දැනෙන්නේ
තුටු මිතුරු කැල පමණි වටින්නේ
එහෙත් මා හද විඳී අපමණ තුටක්
ලදිමිය සැපක් මිහිමත දවියේ වරක්
වෙනසක් කලත් නුඹ මට මෙසේ
නෑ හිත්කොණේ දුක යලි එසේ
නුඹ හිස්තැනක් හදවත් පොතේ
තැබු තිත් පෙලක් මා හදවතේ
නොඑනා ලෙසින් යන මේ දිනේ
නුඹ එනු එපා හද නටඹුන් වනේ
සමුගන්නට ප්‍රියාවිය
එවූ අවසන් හසුන්පත
අත්පත් කරගත්තේ
මම නොවේ
පියතුමන්ය
මටත් පෙර ඇයට
ළයාදරව සමුදෙන්නට
පියාණන් ගියෙන්
ඒ දුකද මගෙන් වැලකුණේ
එහිදී සිදුවූ සුළු
අතපසුවීමකින්
මගේ පියාත්
ඇගේ පියාත්
හදිසි අනතුරු වාට්ටුවේය..
සකුරා මලක් බිමට බැහැලා
සුවඳ විහිදන් සුලඟ සමගින්
සක්මනේ කහ ගඟ අසල
නෙතට සුව දසුනක් මැවේ අද
සුලඟ සමගින් සීතලට එන
හිරිගඩු පිපෙන හවසට වගේ
සකුරා මලේ පැහැ නෙතට දෙන
සිසිලස වැඩියි හදවතේ තරමට
සකේ බීවත් නෙවෙන මත්
හද මත් වෙලා මෙන් සුවඳ විඳ
බිමට බැසි සකුරා මලේ නුඹ
කලකටය මෙලෙසින් සොබා
රතු තොල් මත හිනාව
නොපෙනන දුරකට පාකරන
මිණි කිකිණි හඬවන සිනහා
පින්තූරයකට පණ පොවන
සිතුවිලි අතරට ජීවය
ගෙන එන නෑඹුල් වයසට
දුර අරන් යන්න පෙම් හිත
ලඟ තියන් පෙම් කරයි තනියම
හිරු එළිය අරන් රිවි කුමරු ඉතින්
නුඹ ලඟට ඇවිත් දැවටෙන වේලේ
මල් සුවඳ අරන් වන බඹරු ඇවිත්
සවනකට හෙමින් කොඳුරන යාමේ
වෙල් නියර මතින් ඉබි ගමන් යමින්
මුදු සුළං රැලක් එන මේ යාමේ
ගහ කොළද හෙමින් සිරි සිරි නගමින්
නුඹ අවදි වෙතැයි බිය වන වේලේ
කිචි බිචියේ ඇසෙන සුව විහඟ ගැයුම්
නුඹ නලවන කල මව් ලෙසම මෙසේ
අද උදයේ සුවය මා වෙත අරගෙන
නුඹ අවදි වෙයන් හිමිදිරිය අරන් මාගේ
වෙනස
පවසයි හිරු
සඳුට
නොහැක නවතිනු නුඹට
වෙනස
සඳු පවසයි දියට
ගලා යනු ඇත නුඹද
වෙනස
පවසයි මුඩුබිම්
කෙත්වතු වලට
ධාන්‍ය රැස අස්වැන්නට
දහයියා ගොඩ ධාන්‍ය රැසට
පවසයි
ඔබ වෙනස් විය යුතුය
එයම පවසයි කුරුමිණියා
මල් කැකුළට
වෙනස් නොවී
මැවිය නොහැක රෝස මලක්
මල්පෙති පැහැය මැකීයයි
එසේම සුළඟ මත මැවෙන
තටු සිඳීයයි
ඔබ වෙනස් වේ
පවසයි මරණය අවිවාහකයාට
නුඹේ සුදුමැලි මුහුණ වෙනස්වේ
අතීත මතකයන් වෙත් හෝ
තවත් සුන්දර බවකට
සූදානම්ද ඔබ වෙනසකට
දිගු මතක සැමරුම් අමතක කර
හදවතේ සංකල්පනාවකට
පියමනින්න
උපන් නූපන් නොදන්නා
හැම ලොවට උරුම වෙනසට
යටත්ය හැමදෙය
ඔබ වෙනස්වේ
තරු ඉරට පවසයි
එයම රැය තරුවලට පවසයි
එකම ස්වරයකින්..
කැතලින් රේන්(1909-2003) විසන් රචිත "The Change" නැමති කවියේ සිංහල අනුවාදනය
අලුත් වෙන්නට පාර කියා නුඹට
පරණ පාරේ කල් යවන මට
නිති හමුවෙන හමුවෙන් උන්
ගසාපිය පොලු පහර බැගින්
වසා දමා කඳුළු දිය උල්පත්
සිනා රැල්ලට හයිය දුන් මට
උඹ යන විට පිට පාරෙන්
ගසනු කස පහර එකවිට
වැටෙන විට අත අල්ලන
නැගිටින විට අතගසා යන
සබන් බෝල හිත් අතර
තවත් එක පිළිබිඹුවක් මම
නිශාන්ත ජීවක කුමාරවඩුගේ “අතුල් පහර“ කාව්‍ය ප්‍රසංගයට ලියූ මුහුරත් කවිය
නුඹත් දිනක මව් තුරුලක
උණුහුම ලැබ ඉන්න ඇති
මව් ඇකයේ සොඳුරු සුවය
ඉහලින් පිළිගන්න ඇති
නොබෝ දිනක ලොවට එළිය
දෙන පහනක් වෙන්න සිතී
අඳුරු අහස මත ජනිතව
පොලව මතට එන්න ඇති
නොදුටු ලොවක සිහින පැතුම්
හිත පුරවන් ඉන්න ඇති
අඳුරු මතක මැද ලොව මත
මිලින වෙලා යන්න ඇති
නුඹේ සුසුම් අපේ සුසම්
එක තැන හමුවෙන්න ඇති
දුකක් නැමති සිතුවිල්ලක්
හිතෙන් පලා යන්න ඇති
ඉතාලියේ සිට දිනේෂ් උමගිලිය සොයුරා විසින් එවනු ලැබූ ඡායරූපයකට “කවි සිතුවම්“ වෙනුවෙන් කරන ලද නිර්මාණයකි..ඔබ සතු සොඳුරු සේයා රූ “කවි සිතුවම්“ වෙත එවන්න wijaindu@gmail.com
හීන මවන නෙත් දෙක ලඟ
හීනයක්ම වෙලා ඉන්න
පාට පිරුණු ජීවිතයට
අලුත් හැඩය මවා දෙන්න
ආදරයක අලුත් හීන
ජීවිතයට යලි වඩින්න
එකම එක වරක් ආයෙත්
හිනාවෙලා ඇවිත් ඉන්න
කටාර් හි ජනිත් දේශාන් විසින් එවන ලද ඡායාරූපයකට “කවි සිතුවම් “ ලෙසින් රචිත කවියකි. ඔබ සතුව ඇති සොඳුරු සිතුවම් “කවි සිතුවම්“ වෙත එවන්න wijaindu@gmail.com..එසට සොඳුරු පද ඔබ වෙනුවෙන්
යලිත් නුඹ හමුවුණා
කලකට පසුව
වෙනස් නොවන හැමදේම
පුරුදු ලෙසම රැඳුනා
නුඹ සමගම
හරියටම ආදරය වගේ
අතීතයේ මතක නැවතත් හිතට
හෙමින් හෙමින් විත්
ජීවිතයේ නුඹ තැබූ තිත
යලි යලිත් සිහි වී
මතක සුවඳ රැඳුනු සිහින
අවදි කලේ යලිත් වරක්
දුරක යන්න බලන් ඉන්න
නුඹ හිත තද කරන් විට
බලන් උන්නා දෑස් දෙසම
නුඹ දිහාම බැලෙන ඉබේ
මතක තබා මා අසලම
නුඹ යන්න ගිය යලිත් වරක්
අපි ආයෙත් මුණ නොගැහුනි නම්
තවමත් හිත හදන් ඉන්න
තිබුණා
පෙර පරිද්දෙන්ම
කඩුවක් අරන් වේළුසුමන
හඹා එයි පසු පසින්
දිවගියත් හැකි වෙරින්
නෑ පසුබැස්සේ ඌ...
දාම බාහු කිටි කිටියේ තදවී
කඩුව ගෙන දෑතින්ම
නිර්භය දෙනෙත්
එක එල්ලේ දිගුකරමින
දහඩිය මුගුරු දා
සිංහ නාදකර මහ හඬින්
තවමත් පසුපස එලවයි
නසාලන්නට
අධිරාජ්‍යවාදය
පුරාතනයේ සිට පැවතෙන
ස්ථරය මත
විරාජිතව
වැඩ සිටින
නුඹේ ආලය
එපා මට
මම
තවමත් මහපොළව
මත
තරු එළියට හැන්දෑවට
මුතු කුඩයක් යටට ඇවිත්
ජීවිතේම අතට අරන්
ඇවිද යමුද දුරක ඉතින්
පොද වැස්සට හීන වැටෙන
එක අහුරට අරන් එකට
නෙත් අභිමුව දිලිසෙන්නට
තියන් ඉන්න දෑත් මතම
නිශායාම සිහින් පින්න
වැටෙන අතර කුඩේ යටින්
අවිදන් එමු ජීවිතයට
ඇවිත් ඉඳිමු එදා ලෙසම
ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්