twitter rss

චෙරි වත්ත..

:::ලිපි වර්ගය:::

දුර සිටන් වුවත්
එවා සුපෙම් පත්
දිරිගන්වමින්
මවන්නට සොඳ
අගේ ඇති පොත පත

ඔල්ගා නුඹ වන්
සුපෙම් මැසිවිල්ලක්
චෙකොප් නම්වූ
පන්හිඳ හැරවූ අන්
යමක් වෙත්ද
උවමන් කරනට

ඔල්ගා නුඹ වන්
සුපෙම් ළඳක්
සිටියා නම් මටත්
මවනු ඇත
මගේ පන්හිඳත්
“චෙරි වත්ත“ ටත්
වඩා යමක්..


අන්තිම කැමැත්ත..

:::ලිපි වර්ගය:::

වලලන්න මා
කිසිවෙකු ඇස නොගැටෙනු පිණිස..
දිවිකතර මත විඳි
අනියත හැමදෙයින් වෙන්වනු පිණිස..

පසුපසින් මෙන්ම ඉදිරියෙන්
ගමන් මග අවහිර කර
දුන් දෙය මෙන්ම ගත් දෙයද
අමතක කර දමා හිඳ

හෙට පැමිණ සුසානය මත
මල් වඩම් හා රෝස පොකුරු
තබා සිත විවර කරන
ඉටිපහන් හා සුවඳ හර
දල්වමින් හඬ හඬා වැලපෙන

ඇසුරුකල වුන් ඇස නොගැටෙන්න
වලලන්න මා
කිසිවෙකු ඇස නොගැටෙනු පිණිස
සමාදානයෙන් සැතපෙනු පිණිස

අභිනික්මනට පෙර..

:::ලිපි වර්ගය:::

දුටුවෙමි
සතර පෙරනිමිති

හුදෙකලාව හඬන
යුවතියක්..

බහු ස්ත්‍රී සේවනයේ
පුරුෂ ප්‍රාණයක්..

පහරකන පාවහන් යුගලෙන්
වංචාකාර සැමියෙක්..

රුව වරුණ මුදලට මනින
රූබර විලාසිනියක්...

ඉන් ඉක්බිති
කළකිරුණි කුලගෙය


සමුගැනීමට පසුව...

:::ලිපි වර්ගය:::
බලන් යකිමතෝ
ඒ හසරැල්ල දෙස
වසා සඳකැන් පවා
නුඹ දිහාවට වැටෙන
මැන්ඩලීනය නිහඬ
එකම එක රාත්‍රියක
කියතෝව හඬවමින්
ඇය යන්න ගිය අයුරු
සඳකැන් දුටුවා
නුඹ නොදුටුවත්
කඳුළු අතරින්....





ගලිවර්ලා අතර

:::ලිපි වර්ගය:::
සයිබරය තුල කලාවට
යමක් කරනු නියාවට
හිතට බර නැති අකුරු කෙරුමට
නොසිතේ දැන් අකාලේ 

සිතුවිල්ල තරමට ගතහැකි
හරවත් යමක් මිස හිතට
නොරිසිය යමක් වෙන
ගිනියම් වූ යකඩ වැනි හිත් වලට

එහෙත් බ්ලොග් ගලිවරයන් මැද
ලිලිපුට් කෙනෙක් වීමම
යමක් වෙයි සිතන්නට
දෙවරක්ම ලියන්නට

“නති නායකෝ විනස්සන්තී
බහු නායකෝ විනස්සන්තී“
අපි තාමත් එතනමයි
බලාගෙන කියුම් කෙරුම්
බිඳින හැටි පාළුගෙයි වලං





මතක පොත

:::ලිපි වර්ගය:::

වසා දමනු බැරි මතක පොතේ
අවසන් පිටුවේ රැඳෙමි
මකා දමනු බැරි සිතුවිලි මෙන්
හදවත පතුලේ හිඳමි
හඬා වැටෙනු බැරි ඇස් අතරේ
මතකයේ කඳුළැලි රඳමි
දමා නොයන මතකය ලෙසකින්
හිත තදින් වෙලා ගනිමි

කියවූ පසුව පොත පෙරලූ හැටි කදිම

:::ලිපි වර්ගය:::

අසනා දෙකන් බිහිරිව යන ලෙසම
කියවා මහ හඬින් මහපඬි පොත් දුසිම
පෙන්නා ඇසු පිරූ තැන් ඇති බව තවම
කියවූ පසුව පොත පෙරලූ හැටි කදිම

නොවසා දෙකන්  තනිවම අකුරු කෙරූ
සිතැඟිවි සිතින් ගුරු කුලයේ එදා විසූ
කෝ ඒ හිතැති සිසු කැල සිත් සාර දිනූ
හැරගොස් ඔවුන් තනිකර මහපඬි ඇදුරූ

දිසාපාමොක් තනිවම සිටින කල
පුස්කොල පොත්ද කාවන් හා වෙලෙන කල
නොකියා කොහොම අදියුම් ක්‍රමයේ විකල
තවමත් පෙරලනා පොත් නැත සුව සඵල

උදෑසන ඇවිත් - නුඹ කොහේහෝ දමා

:::ලිපි වර්ගය:::

පුරුදු ලෙස උදෑසන ඇවිත්
හීතලට ගැහෙන විට
සියොළඟම
අපූරුයි මේ උදෑසන 
පෙරදිනටත් වඩා

එහෙත් මේ උදෑසන
දමාවිත් නුඹ කොහේහරි
පෙර දින රැය ගෙනා මවෙත
හිත් පිත් නැති ලෙසින් 
නුඹ දමාවිත් කෙහේහෝ

දයාබර සුළඟ

:::ලිපි වර්ගය:::

නුඹ මෙන්ද මමද එක ලෙස
පෙම්බැඳි සුළඟ මිස
අන් යමක් නැත අද
අප රැඳුනු සොඳුරු තැන්වල
හිරු එළිය එළිය දී
සඳ මඩල තනිවැරුවද
දයාබර සුළඟ මිස
නැත කිසිවක් අද එහි
සුසුම් පොදි ගමන් ගිය
කඳුළු වැල් පිරිමැද්ද
අප රැඳුනු සොඳුරු තැන්
සුළඟ රකිනවා ඇත
දයාබර සුළං රල
තනිව අප හුන් තැනම
හිඳී නිරුවත් විලස
අපේ සිතුවම් රැගෙන





ගනේවත්තේ තුෂාරි කාරියප්පෙරුම සොයුරිය එවූ සොඳුරු ඡායාරූපයට ලියූ “කවි සිතුවමකි“
ඔබ සතුව ඇති සොඳුරු සේයා රූ සිතුවිලි පලසට එවන්න wijaindu@gmail.com ඒවා හැකි උපරිමයෙන්
කවි සිතුවම් කරන්නට සූදානම්

පිහිය

:::ලිපි වර්ගය:::

ඇන්නා ඔහු මට
සමාජවාදී පිහියකින්
තුවාලයෙන් ගලා ගිය
නිලට හුරු රුධිරය
කියාලන කතාවට 
කන් නොදුන් ඔහු යලිත්
ඇන්නා නැවතත් මට
ධනවාදයේ බයිනේත්තු තුඩින්
හදවතට නොව එය 
ඇමිණුනි බඩතුරේ
දිනගණනිකින් තැවෙන
සාගින්දරේ
අවසානයේ ඔහු
අතට ගෙන රන් කඩුව
අධිරදවාදය ලෙසින් නම්ලද
කපා දැම්මා මගේ සිරස
නැවතත් ඔසවනු
නොහැකි ලෙස හිස

----------------------------

හිරු කුමරිය

:::ලිපි වර්ගය:::

තරුවක් නැති රෑ අහසින්
තරුවක් ගෙන හද මඩලට
මද්දහනට පීදෙන්නට
පැතුම් පැතුව විට තනිවම

වරුවක් නුඹ හිත් අහසේ
වරුවක් මගෙ නෙතු අතරේ
රැඳී ඉන්න හිරු කුමරී
වෙලා සුවය නෙත් මානෙට

සුවයක් ලද මුත් මහදට
සුවයක් නැති නුඹෙ දිවියට
ඇවිත් ඉන්න එක දිනයක්
සිත මුමුණයි පැතුම් ගොඩක්

භවයක් මම පැතූ හෙයින්
භවයක් විය නුඹ ලබමින්
එහෙයින් මගේ ජීවිතයට
හිරු කුමරිය නුඹයි තවම

හදිස්සිය...

:::ලිපි වර්ගය:::
දමාගෙන කඩිමුඩියේ පටපිළි
හතලමින් වගේ නුඹ අද
කොහේ ගිහින්දෝ උදේම
දහසක් දේ තබා මෙහිම....

අරුණෝදය අරන් ආපු
පණිවිඩයක් නිසාවත්ද
මිරිවැඩි  සඟලටත් හොරෙන්
නුඹ පිටවී හිමිදිරියේ...

නුඹ ගැන තතු දැනගන්නට
ඇසුවත් මිරිවැඩි සඟලෙන් මම
නොදනී එය  මා විලසම
රකී නිහඬ බව තරහින්
දමා ගියපු නිසාවෙන්ම
මම වාගෙම දුකින් හිතේ


අද සිට ඇරඹෙන කවි සිතුවම් අංගය වෙනුවෙන් කෑගල්ලේ දුමින්ද කෝදාගොඩ සහෝදරයා එවූ ඡායාරූපයකට රචිත පදපෙලකි...

නිල් සඳ මඩල

:::ලිපි වර්ගය:::

දෙනෙතින් අඳින තුරු නුඹෙ රුව අහස පුරා
පැතුමින් තනන විට නුඹෙ නෙත මසිත් අරා
සිතමින් නිතර නුඹ හුන් තැන මහද දරා
තැවෙමින් මෙලෙස විඳවනු ඇයි දුකද දරා

අටවක සඳට වැඩි සෙනෙහස උපමාව
සැටවක කලට හිත පුරවා නොපමාව
ජලවක නැකතකින් ඉපදුනු පෙම්මාව
මගේ එක සිතින් උහුලමි දුන් උපමාව

නැත සිත පුරා දුක තව නුඹ නැති හෙයිනි
ඇත එක දෙයක් ඒ සුව සැප නුඹෙ පමණි
මත කය රිදවුවත් නුඹ ගැන පව සමිනි
අත ලඟ නැතිනමුත් තවමත් සිත පෙමිනි


*********

නොනිමි පෙම..

:::ලිපි වර්ගය:::

සසර පුරුද්දට පෙම් බැඳි නුඹ හට
නිතර සිතට එයි නුඹෙ රුව හැම විට
පැනලා දුවන්නට සිතුනත් සදහට
සිතලා බලන්නට කල් ඇත තව මට

එකම හදක් වූ මගේ ඒ පෙම් කව
දෙහදක් වන්නට පින් නැති පෙම් කව
සිහින පොදක් බැඳි නම් නැති පෙම් කව
බොඳව ගියාදෝ නිම් නැති පෙම් කව

සොයුරි පෙමක් වූ නුඹෙ ඔය පෙම
නැතිකර ගන්නට ලොබවුණි ඔය පෙම
නතු කරගන්නට සදහට ඔය පෙම
සසර වසමි මම ලැබුමට ඔය පෙම

පිදුවත් නුඹෙ පෙම වෙනෙකුට යම් දින
සතුටකි එය මා හට හැම දින
පැතුවේ නුඹෙ සතුටයි මා හැම දින
පතමි ලබන්නට නුඹෙ පෙම කිසි දින


සොයුREK
(ආරාධිත නිර්මාණ)


අතීතය කෝ අයියණ්ඩී..

:::ලිපි වර්ගය:::

අයියණ්ඩියේ කෝ
සාමා අමර
විතරද අර මල් පිරුණු
සල්ගස
නොමැත අද එය මේ
පාසල් පොත් පිටු අතර

සුදු නංගියේ අද
සල් ගස්නම් එමට
නමුත් නොමැත මලින් බර
සාමා අමර නම්
සොයාගත හැකි වනු ඇත
මුණු පොතේ
පිටු අතර

හිරුත් සඳුත් මගේ වගේ..

:::ලිපි වර්ගය:::
එළිය කරන නිල් අහසම
හිරු කුමරිය මගේ වගේ
දිදුලන සඳ අඳුර මකා
සඳකුමරිය මගේ වගේ
ඉරුත් සඳුත් අරන් ළඟට
නුඹ ඇවිදින් රැඳේ හදේ

ඇවිදින කල නුඹ හිමිහිට
වටී  මෙමට නුඹෙ පියවර
හිනහෙන කල නුඹ තරඟෙට
නැතේ දුකක් හිත් මානෙක

ජීවිතයම නුඹෙ ඇස්දෙක
වගේ රකින පොරොන්දුවට
දුවේ මගේ හිත් ගොමුවේ
කැකුළු මලයි නුඹ පිපුණේ



රහතුන් දුටුවෙමි..

:::ලිපි වර්ගය:::

 කසාවත පොරවාගෙන
නොසිටියද
රහතුන් අදත් ඇත
අප අතර නොඅඩුවම

සෘද්ධියෙන් සක්මනේ
පුරුදු ලෙස නොගියාට
සියුමැලිව පා තබා
නිසලවම ගමන් යන

දිවැසින් ලොව බලා
දුක් නිවනු බැරි වුවද
මිතුනෙතින් නිති බලා
අවැසි උවටැන් කරන

හදවත තබා යන්න...

:::ලිපි වර්ගය:::
නුඹව හැඳිනගත් 
නුඹේ හිනාව
නිසාම තාමත්
මල් පිපෙනවද ළඟපාත
එහෙව් හිනා නුඹ
ඇන්න ගිහින් මට
දුකක් තියා නුඹ සැනසෙන්නද
එහෙම නිසා
නුඹේ සිනා පොදක්
මගේ ළඟම තිය
නුඹ යන්න ඉතින්
******************

ඉනි කඩුල්ල තරහවෙලා

:::ලිපි වර්ගය:::


හැමදාමත් මම යන මග
මා පිළිගෙන පාඩුවේම
උන් කඩුල්ල ඇයිදෝ අද
මට හරස්වෙලා

වෙනදා මම එන පාරේ
ගෞරවයෙන් පාත්වෙලා
ඉනි වැට පහුකර යන්නට
හිටි කඩුල්ල හරස්වෙලා

ආරවුලට වගේ ඉඳන්
ඉනිවැට මත්තේ ඉඳගෙන
ආඩම්බරයෙන් වාගේ
බලන් ඉන්නවා උදේම

විච්ඡේදනය

:::ලිපි වර්ගය:::


සතියක පටන්
දැඟලුව ගැලවෙන්නට
මගේ තනි හිත

දැම්මා අද උදේ
මහනාම පාලමෙන්
නිල්වලා ඟගට

බලන්ම හිටියා..

:::ලිපි වර්ගය:::
දවස් ගණන් පහුගිය දිනවල
බලන් උන්නා එයි කියා නුඹ
ලඟටම මගේ..
එක එක එවුන් එක එක කතා
කිව්වත් ඇහුවේ නෑනේ මං
තනියම බලන් හිටියා නුඹ
එනකන් එළිපත්තේ..
එනවා කියලා කියපු නුඹ
ඇවිත් තිබුණේ වෙන තැනකට
බලන් හිටපු මම තනියම
ගියා ඉතින් ගේ ඇතුලට
හිතින් බැනලා නුඹට හොඳට

තනිවම..

:::ලිපි වර්ගය:::
දැනේ තනිකම අදනම්
දරාගනු බැරිතරම්
කුමක් කරම්ද මං
නැතිවිට හසරක් අද
ළඟින් උන් නුඹ
ගිහින් අතහැර
බලා ඉනු මිස මට
කල හැක්කක් නොමැත අද
අනේ ඊයේ පෑයූ තරුව
අද තනියම හිනහෙන විට
තවමත් හිඳී මම
තනිවම මෙතැන්හිම

හිම දෝතක් අරන්..

:::ලිපි වර්ගය:::


සීත හිමකැට වැටෙන සීතල
කඳුකරේ සිසිලස මැදින්
දෝතට ගෙන තදකරන්
ගෙන ආවෙමි එක හිම මිටක

පැමිණ ගෙපැලට විගස බැලුවෙමි
ගෙනා හිම මිට තබන අටියෙන්
අහෝ කෝ හිම..දියව ගොස් ඇත
හිතාගනු බැරි ඉක්මණින්

හිනා මනා දිදුලන්නේ

:::ලිපි වර්ගය:::

යනවිට පාර තොට මේ දිනවල දුටිමි
ඇතිබව වසා තාප්ප එක පෙලට මෙහී
හිනා මූණු හිත හොඳ චන්ඩිත් පෙලකී
අහිංසක කමට ඉන්නා හැටි අගනී

ඡන්ද කාලේ පේනා මේ මූණු කැල
කොහේ සැඟවෙත්ද පසුවූ විට මෙකල
හාල් පොල් සාරි පුදනා විට එකල
දෑත බදා දුන් ඡන්දය වෙයි ප්‍රබල

නිවා දමනවා ජන දුක් එක රැයකින්
කියා යදී ජනතා ඡන්දය සතොසින්
මුසා වදන් දෙඩුවත් ඒ නැවෙන දිවෙන්
කෙසේ සොයම්දො ඡන්දෙන් පසු මැතිඳුන්

නුඹේ මතකය..

:::ලිපි වර්ගය:::

හිමිනොවන අතීතයේ සිට
හිතනොඑන අනාගතයට
පියවර මැන්නෙමි...
තබන තබන පියවරක් පාසා
දකින් දකින තොටුපලක් පාසා
රැගෙන ගිය එකම දෙය
නුඹේ මතකයයි..
අමතක කරන්නට බැරි..

කවිකාරියට..

:::ලිපි වර්ගය:::

නෙත් දෑල සීතලෙන් ගැහෙනා
පාළු යාමයේ
හිතගාව පෙම්කතා නොලියන්
සොඳුරු මියැසියේ

හිතගාව පෙම්කතා ලියනා
මිහිරි රාත්‍රියේ
මල්යාය එකලුවී කියාවි
මගේ ආදරේ

මේ පාළු නිම්නයේ ගෙවනා
අඳුරු ජීවිතේ
හඳපාන සේ දිලී තියේවි
නුඹේ ආදරේ

අපි සිංහ වංශයේ...

:::ලිපි වර්ගය:::


සිංහ ගර්ජනා
සිංහ සෙයියාව
සිංහ මූණු
නරි රැළක්
තව තැනක
බෝතලයක්

සිහිනයට අවසර...

:::ලිපි වර්ගය:::

කාලය තරම් දිග සිහිනය
හිතේ දරා
සීලය දරන් සිත තව
ඈතටම ගියා
ආලය තරම් කවියක් මට
නොමැති නියා
තාලය නුඹයි ජීවන
ගීයටත් සදා

ඇතිමුත් පියාපත් හීනය
ඉගිලෙන්න
බැරිමුත් සිතේ කවිකම් යලි
පුබුදන්න
නැතිමුත් තවත් දිරි ඉදිරියටම
යන්න
නුඹවත් දෑල වනු මැන අදවත්
ඔන්න

පාරමිතාවක් නොව...

:::ලිපි වර්ගය:::

නමක් නොමැති තරුව වගේ
නුඹ උන්නට ආකාසේ
හිතාගන්න බැරි දුරකින්
දිලිහි දිලිහි හැමදාටම

කියාගන්න බැරි දේවල්
හිතපොඩියේ තියාන මම
බලන් හිටියා කලක ඉදන්
ඇස් තියාන ආකාසෙට

තවත් හිතට දුකක් නොදී
පහල එන්නේ තරු කුමරියේ
බලන් ඉන්න මගේ ලගට
අගේ නොකර ඔය විදියට

මංගල ප්‍රකාශය....

:::ලිපි වර්ගය:::


ජොඩුවුණ දා නුඹ
පල්ලියේ පලස මත
අතට දමා ආදරයෙන්
ඔහු දුන්න රන් මුදුව

සදාකල් රකින බව
කියා දිව්රුවා එතන
රැස්ව සිට හැමදෙනම
සතුටු කදුලැලි මැදින

විමසුවා යෙහෙලියක්
හදිසියේ නොසිතුලෙස
සුබ පැතුම් අතර තුර
නුඹේ හද සැලෙන ලෙස

කෝ නුඹේ පෙම්වතා
කවි ලියූ හිතවතා
අතගන්න සිටිය නුඹේ
කවිලොවේ ගුණවතා

නෑ තිගැස්සුණේ නුඹ
ඇතුරමින් හිනාවක් මුව මත
පැවසුවා හිමින් ලංවී
නොකී කතාවක් සැමට

කලාකරුවන් හොදය
වෙනස් වන හිත් ඇතිය
නිමවන්නේ සොදුරුදේ
වෙනස් වන හිතෙන්මය

කෙලෙස මම රැදුනු කල්
වෙනස් වන හිතක් සමගින්
රැදෙනු ඇත එකම සිත
උපරිමෙන් දින හතක්

නුඹේ වදන් නොඇසුනි මට
ගීතිකා හඩ මැදින්
ඇසුනි මට එක් හඩක්
නුඹේ කිංකිණිය මෙන්


එකම පැතුම

:::ලිපි වර්ගය:::


විසල් කන්ද නුඹ
දුරින් හිද පවසයි
හරිත වන රොද
සුව සපිරි බව


ඉවසන්න බැරි දුරින්
බලන් හිද මෙමන්
පතයි නුඹ තරණයට
හිතින් සිය දහස් වර


විසල් කන්ද නුඹ
මගේ හිත දිරි ඇත
තරණය කරමි මම
මියෙන්නට පෙර දිනක

විසල් නුග රුක

:::ලිපි වර්ගය:::



ගමට තිබුණු එකම හයිය
ගමේ පිනට තිබුණු සවිය
කපා දමා එක පහරින්
ගමේ එකම මහ නුග රුක



නිහඩ ලොවක උරුම ගත්ත
නිහඩ බවට ලකුණ ගත්ත
කපා දමා එක පහරින්
ගමේ නිහඩ මහ නුග රුක



හඩා වැටෙනු බැරි හින්දම
බලන් ඉන්න බැරි හින්දම
දෑස වසන් බලන් හිටියා
ගමේ දසුන මහ නුග රුක



කපා ගත්තු දෙයක් නැතී
තිබූ නොලැබි දෙයක් නැතී
අන්තිමේදී බිම හෙලුවා
ගමේ හයිය මහ නුග රුක

නිල නොලත් හාදුව...

:::ලිපි වර්ගය:::
මට විශ්වයම කැටිකොට
ආදරය කේන්ද්‍රකොට
ස්නේහයෙන් පදම් කොට
නුඹ දුන්න
හාදුවට
අවසර ගන්නට
අමතක වුණත්
බලධාරීන්ගෙන්
හරි සුන්දරයි ඒ හාදුව
අවසරලත් එකකටත්
වඩා

අඩ ශතක කව...

:::ලිපි වර්ගය:::


අද අමුතු දවසක්මැ
අද අමුතු සුවයක්මැ
අඩශතක කවියයි
ලියන්නේ පලස මත

ඇරඹි බක් මසින්
සුබ මුහුරත් හිතින්
ඇවිත් බොහෝදුරක්
විඳිමි සිතින් ඒ තුටු

නොයෙක් මල්පෙති
නොයෙක් කටුහෙල්
මැදින් ඇවිදින් ඉතින්
බොහෝ වෙහෙසයි සිතට

ගිමන් නිවාලන්නට
හිතුනත් ඉඩදෙන්නට
මගේ පන්හිඳ තුඩු අගට
නැතේ එය ඉඩදෙන්නේ

ආ මග දෙස මම 
හැරී බලනෙමි ඉතින්
නෙතින් තදකරන්
තුටු කඳුළු මල් ගොඩක්

තවත් දුර යන්න ඇත
ගමන අවසන් නැත
පලස මත සිතුවිල්ල
තබමි දිවි ඇති තෙක්ම

නුඹයි...මහද සරා සඳ...

:::ලිපි වර්ගය:::


තරු පිපී ගනඳුරට එළිය වුණු අතීතෙක
නෙත් කෙවෙනි කකියනා කඳුළු කැට මත රැඳුනු
සිහින් සිහිලක් ලෙසින් සෙනෙහෙ සිත මත වැටුනු
නුඹ මගේ හදවතයි තනියටත් මට තිබුණු


වැහි වැටෙන තෙත බරිත ජීවිතය මත පිපුණු
ඉද්ද මල් කැකුළ නුඹ පෙති කැඩී අහිමි වුණු
මා නෙතට නුදුරෙ පිපි සුවඳ මහදට දැනුනු
පුංචි මල් කැකුළ නුඹ ජීවිතය කියා දුන්නු


ආදරෙයි නොකියුවත් වදනකින් කිසිදිනෙක
ආදරෙයි ඔය හිතට කකියනා තුරු මෙහද
ජීවිතය මත ඉන්න සඳට තරුවක් ලෙසින
එකම එක සරා සඳ  මගේ හදවතේ රැඳුණු

අවසානය..

:::ලිපි වර්ගය:::


අතටගෙන සිඹිනෙමි පරවූ මලක්
දැනුනි සුවඳක් නොමැති බව එහි
පරවු මල්පෙති අතට ගත්තෙමි
පුරුදු සුවයම නැවත දැනුනෙමි

කවි දෝත

:::ලිපි වර්ගය:::


           නිලඹර     නුදුරු සඳ දුටුනෙත                 සුපින්බර
       පැහැබර   ඇසුරු කලයුතු තෙම               සුපින්සර
       පැහැසර   නුඹෙරු දුටු මගෙනෙත             වරින් වර
       නෙකයුරු  සිහිරු සිහිවෙයි සිත                සරින් සර


       වනගැබ      පුරා සැරිසරලා                     විටින් විට
       නෙක්විද     වරාමල් සොයලා ‍                  පෙලින් පෙල
       නෙත්ගැබ   සරා නුඹෙරුවනා                    මලින් මල
       හදගැබ      පුරා පැතිරීලා                        ටිකින් ටික


       ඇතමට      යමක් සිහිකෙරුමට                හැමදාම
       සිතමට       කියයි පැවසීමට                     නුදුරේම
       එයමට        බරයි රැඳවීමට                     සිතෙහීම
       හිමිමට       තමයි හැමදාටම                    නුඹ තාම


       මුවපිරි        සිනා පුරවමි එය                    සිතින් සුව
       ඇයිබැරි     සදා රඳවමි එය                     නමින් නුඹ
       සුමිහිරි        හදින් පිළිගමි හිමි                 රැවන් රැව
       හදපිරි        තුටින් පවසමි එය                  මුවින් මුව 

ජීවිතය..

:::ලිපි වර්ගය:::
සුපිපි පියුමකි
රැඳෙන නටු අග
පිපී ලතවෙන ජීවිතේ
නොයෙක් දුක් ලද
යලිත් හමුවෙන
තරම් පිවිතුරු මාවතේ
ලංව සිටි සැම
වෙන්ව යාවී
එයයි ලෝදම් ජීවිතේ
දුකකි කඳුලකි
නමුදු සැපතකි
රඟන අප‍ මේ ජීවිතේ

නෙතු අඳ මුත්...

:::ලිපි වර්ගය:::


නොපෙනුනත් ඔබට
රැස් දහර විහිදන හිරු
සෞම්‍ය කාන්ති පතුරන සඳු
දැනේවි හැමදාමත්
මගේ ආදර උණුසුම ඔබට...
දෑතේ වෙලී මාගේ
සදාදර සෙනෙහසද දෝතට ගෙන
ඔබ මා අසලින් හිඳ
සිනාසෙයි තනිවම.....
අඳුරු ලොවේ ඔබ ඔය ඉන්නා
හිරු සඳු වෙන්නෙමි මම
හැමදාටම......
ආදරේ ඔය හිතට
දැනෙනතුරු ලංව ඉන්නම්
උණුහුමෙන් ඔබ ලඟම
හිඳීවි මා හදවතත්.......

පසුතැවිල්ල...

:::ලිපි වර්ගය:::


පැතුම් ගොඩක් හිතේ තියන්
නුඹ දිකින්න හිතන් මෙමා
ආදරේ පිරුණු හිතින්
ඇවිත්
අන්තිමට යන්න වුණේ
හිස් අතින්
ලේන්සුවට කඳුළු අරන්

සුදු හංසියේ මගේ...

:::ලිපි වර්ගය:::


සුදු හංසියේ නුඹත්
නුඹේ ආදරයත්
නොවන්නට අද
මගේ නමින් ඉතිරිවන්නට
තිබුණේ
අයිඩෙන්ටියත්
බැංකු පොතත්
පමණයි..
 

ගං දිය...

:::ලිපි වර්ගය:::


සිත් පිත් නැති ලෙස
ගලායන ගංදිය
ගලායාවී සමුදුර තෙක්ම
කරදිය සුවඳ දැනෙන තෙක්ම
ඉහිලීමට අපහසු වූවත්
නැවතත් සෙනෙහෙ සිතින්
හැරී එන්නට ගංදිය
නොකැමතිව ඇති
එබැවින්ය හැමදාම ගංදිය
සයුරටම ගලන්නේ..

හිස් තැන (තවම එතැන)

:::ලිපි වර්ගය:::



හෙමින් හෙමින් ඇවිදින්
සිඹ වැළඳ පෙම් සිත
නිවා සනහනු බෑ
ගිනිගෙන දැවෙන පෙම් හිත...
සිනා තෙපුලක්
පුදා පෙරලෙසින්
තබා සීතල සුරත හිසමත
සීතල කරනු බෑ
ගිනි පුපුරු නගින මේ හිත...
සරා දස අත
මවා තුටු රූ නෙත් අභියස
කලඹා නෙත්විලම
මුලා කරනු බෑ
නුඹ හඳුනන මේ හිත...
ගිනිගෙන දැවෙන විට
පෙම් සමරු අයෝධ්‍යාව
හැ‍ර ගොසින් මේ දිවිය
පුරවනු බෑ
නුඹ තැබූ මේ හිස් තැන...
ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්