නිදි නැති රැයෙන් පසු
හිරිවැටුටී දරදඬු වූ හිත
උදෑසන අවදිව සොයන
අලුත් ඉර කොහිද අද
අලුයමක හිරු කිරණ
වැටි වැටී කකියවන
දෙනෙත් මත දඟකරන
සිහින පොදි සැඟවීද
නුඹ පෙනුනු සිහින වල
රැයේ හදවත තැලුව
අමතකව යනු පිණිස
හමයි අලුයම හුලඟ
සිතුවිල්ලෙන් සිතුවිල්ල ගලපමින
ගතවිනි වසර දෙකක්
හදවතින් හදවත අමුණමින
ගතවිනි වසර දෙකක්
හදවතේ ගැඹුරුම තැනින් එන
සොඳුරු නිමැවුණු පද පෙලට ගෙන
කවි හිතැති හිත් හදන අටියෙන
ලියූ පද අද ඉතිරි වී ඇත
සතුටු කඳුළැලි නෙත රැදෙන්නේ
නෙතට බර නැති කවි රැඳෙන්නේ
සිතට ලතැවුල් නෑ දැනෙන්නේ
හෙටද හමුවෙමු මේ ලෙසින්නේ
රසබර මතක එක පිට එක මතුවන්නේ
හිත මුල බැඳුනු කෙලි පොඩි රැල සිහිවන්නේ
අද තනිකඩව මුමුණන හිත පෙරලෙන්නේ
එවිටම පපුව හොස් හොස් ගා දඟලන්නේ
රූබර කැකුළු මල් නෑරම තැලුව මම
ආදර වදන් මත තෙලිදිය තැබුව මම
චාමර පවන් සලමින් පෙම පිදුව මම
කාමර දෙකක ගෙදරට අද හිරව මම
සිනා මලක් නැත පෙනෙනා තෙක්මානේ
වනා දමන සුළඟත් සුව නැති මානේ
ගෙනා සතුට දොරකඩ නැවතුන හීනේ
පනා කුමට තට්ටය ඇති කල නෝනේ
ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්