twitter rss

හඬන නුඹට...

:::ලිපි වර්ගය:::


තාමත් හඬාවැටෙන නුඹට
ආදරේ බව කියා නොකියා
රිදෙව්වෙද හිත නොදනිමි
මම ළබැඳි සබැඳිය..........

සිනහවක් නැති නුඹේ මුවඟේ
සිනහවක පදනම් දමා මම
ජීවීතේ නුඹ රැගෙන යන්නට
මගේ හිත් මල් යහන් මත තබා

තවමත් හඬයි නුඹ විරහ දුක්ගෙන
කෙසේදෝ මා පවසන්නේ නුඹ හට
ආදරේ බව මගේ හදවත
නොරිද්දන්නට තවත් ‍හදකට

මා සිතින් තද කරන් අස්වසන්නට
නුඹව කඳුලු අතරින් සිතේ
නොහැක මට හදන්නට
බිඳුනු නුඹ සිත් මඩල


**********************
සබඳි නුඹ ළිහිණියකි
රැයේ අඳුරට හඬන
මමද ළිහිණියකු වෙමි
කැඩුණු තටු පිරිමදින

නික්ම යාමට පෙර...

:::ලිපි වර්ගය:::


නුඹ කඳුලු තදකරන්
සුසුම් රැල රකින විට
කෙලසකින් යම්ද මම
නොදන්නා ලොවක් වෙත
දන්නා සියලු දේ
නුඹ වෙතම වන කලක
නොහඳුනන ලොවක මම
හිදින්නද කෙලෙස හෙට..


දෙතොල්පට තදකරන්
හිනාවෙන්නට තනන
දෙඅත් පණ නැති ලෙසින්
සමුදෙන්න අතවනන
නුඹ ලඟදි සෙනෙහෙ සිත
වැලපෙමින් ගුලි ගැහෙන
රැගෙන මම යමි කෙසේ
නොපෙනෙනා ඉමක් වෙත


උණුහුමට නුඹ දුන්නු 
අවසන් හාදුවට
මුසුවෙලා හැමදේම
නුඹ කියන්නට තැනුව
ලොවක් නැති බව දැනම
නුඹ නොමැති මිහිපිටක
නොසලන්න කඳුලුකැට
එනතුරා යලි හදට...

පරිච්ඡේදයක්...

:::ලිපි වර්ගය:::


නුඹේ අකුරින්
ලියූ හසුනක්
කියෙව්වෙමි අහම්බෙන්
උඩින් පල්ලෙන්....


කකියන හදවතට
පහර දෙන හද ගැස්ම
කඳුලු කැට නොවැටි හිත මත
මතු වුණිය සුසුම් පොදි.....


වසා එ හසුන
තබා තිබු තැනම එය
හිඳගතිමි අසුන මත
නොදැනීම සිත නැතිව.....


නුඹ ලියූ අකුරු වැල්
ඔප වැටුණු හදවත මත
වසාගෙන මා කරන
නෙක කෙරුම් මතක් විය....


සඟවාන සුසම් වැල්
වසා දමා සිතුවිල්ල
ඇස්පිය අතරින් පිටකර
නුඹ ලියූ අකුරු කැට....

අහුබුදු දසුන...[චන්ද්‍රසිරි දේවසුරේන්ද්‍ර]

:::ලිපි වර්ගය:::





සිව්හෙළ           හැඟුම් මතු කොට රට සතර                 අතේ
සිංහල              පරපුරේ අබිමන් නැගුව                        හිතේ
පින්කල             පුතුගෙ වියොවෙන් ලක් මව්ගෙ            වතේ
නිම්කළ            නොහැකි උණු කඳුලැල් ගලනු               ඇතේ




යක්         -රක්-නා-අසුර පරපුරු වළින්                            සැදී
ලක්          ඉතිහසට අරුතින් පණ පොවන                        ලදී
සක්          විති රාවණ ගෙ පුවතින් ලයට                         බැඳී
දැක්         මක් උරුමවිය ඉන් අපි නොයමු                         මිදී


පුලතිසි         පුරයෙ "පුලතිසි රැව" දකින                      සඳ
බල ගතු        දැයේ ඇරඹුම ගැන රැඳෙයි                        හද
හෙලයට       සදා උරුමයි ඉන් නැගෙන                         තෙද
මිල කල        නොහේ එම අහුබුදු දසුන                        හොඳ

පැතුම් මිට...

:::ලිපි වර්ගය:::


නිතියෙන් සත සිත සුවපත් කරවනු පිණිස
නිදුකින් සිනා ගඟකින් දෝතක් ලෙසින
බැතියෙන් වැළඳගමි ඔබේ හද තුටුවන මෙදින
සතුටින් සුබ පතමි කිවිපති ඔබ බැතින


දණගගා ඉඳිද්දිත් ඔබෙ කවි රස විඳපු
නෙක ලෙසින් වදන් කැටිකර සවනට පොවපු
කවි හටන් වලින් නිරතුරුවම ජය ලබපු
කවි ලොවේ අනගි මැණිකකි ඔබ ඔපදමපු


මා පියතුමන් සමගින් ඔබ මිතු පෙම දැක්කේ
නිරතුරුවම ඔහුත් ඔබෙ කවි රස දැක්කේ
සිරිලක පුරා පරසිදු ඔබෙ නම රැක්කේ
හදවතින් පැතුම් ඔබටයි කිවි අපරැක්කේ


කිවිපති ලෙසින් සිරිලක කරවන පසිඳු
තව තව පුරවනු හද තුල කවි රස බිංඳු
රැකදෙයි ඔබව නිති තෙදබල කඳ සුරිඳු
කවියෙන් පැතුම් ගෙනෙනා මා ජ.වි.දෙව්සුරිඳු



"කිවිපති" සුනිල් අපරැක්කේ කිවිඳුන්ට යැවූ පැතුම් කවි මල් මිට

මිතුසඳාණෝ....

:::ලිපි වර්ගය:::

ලේ ඇට මස් නහර
පවා දියකර බොමින්
හඹායන නරසතුන් ලෙස රැඳෙන
අපා සහයකයන් මැද
 
ලොව්තුරා සුව දිනූ
කසුප් බුදු හිමි වෙතට
රැගෙන ගොස් මා වැරෙන
බලෙන් මෙන් ගෙන මගට
 
 
අමාදම් සිසිලසින් 
නිවා මා සසර දුක
ඝටීකාර නුඹයි අද
සිතැඟි හඳුනාගත් මගේ
 
 
පවිටු ලොව අඳුර මැද
නිබඳ පහනක් ලෙසින
මිතුපෙමේ සැබෑරුත
නෙතට එක් කලෙ නුඹය


සසර  එතෙර වන දිනක
අතැර යන සසර දුක
බුදු පුතෙකු ලෙසින් මම
රැගෙන යමි මිතුර නුඹ


"ත්‍රිපිටකයේ මජ්ජිම නිකායික ඝටීකාර සුතුර ඇසුරිනි"



 

යථාර්ථය...

:::ලිපි වර්ගය:::

දැන දැනම 
අයිති නොවන බව නුඹ
ලංව හිඳ
මගේ හිත
රවටාගනු බැරි වන්
යන්නට පියවර
තබන කල්හි
ඔබ දෙනෙත්
ඇරයුම් කරනු ඇයි
යලි යලිත්

නුඹව....

:::ලිපි වර්ගය:::




මාගේ නෙතට අඳුනකි ඔය රුවන් රුව
ජීවේ පුරන පිරුමක් නැත සදා මට
ස්නේහේ සිතේ උතුරන ලෙස රැඳී නුඹ
බාලේ ඇඳුනු රුව නුඹවෙයි සිතින් සිත


නිති සුව සැපේ අරමුණු සිත් කොණ රඳවා
සෙනෙහස සුවක් වෙයිදෝ තිර නැති කලෙක
අසරණ සිතට සරණව ඇති නුඹ දිනක
මගේ පින් කල සිතට තුටු පඬුරුද නුඹව

සංහාරය....

:::ලිපි වර්ගය:::


මම 
සුවද මලින් සරසා
අංජන දියෙන් නහවා
මල් පැන් පොදින් සුවද කල
සනේහ පුදසුන


ඔබ
පරමලින් කිලිටි කර
කදුලින් තෙත් කර
පවිටු බසින් දුර්වරණ කලේ
ඇයි

සිත් ගිමන් හල ආදරේ

:::ලිපි වර්ගය:::

මේ පිපෙන මල් කියන්නේ
හමන බව වස්සානයේ සුලං රැල්
සනහනා බව හද වසන්තේ
අවුලනා වේදනා නිවන්නේ

මා සිතපුරා නැවතිලා නුඹ හිදින්නේ
ඒ කවි කතා ආදරෙන්
නද දී කියන්නේ
නුඹ ඉන්න බව මේ වසන්තේ
හද සන්තානේ පුරා පිපි මලක් සේ
..................
සිත් ගිමන් හල
ආදරේ
නුඹ ඉන්නවා වගේ
දැනේ 

හැමදේම... ඔබ දුන්නු...

:::ලිපි වර්ගය:::



විඳගන්න ඔබ දුන්නු
ඔබ ඉන්න සුසුම් පොද
තාමත් විඳිනවා මං
සුසුමවත් ලඟ නැතිව...


පුදදෙන්න ඔබ දුන්නු

පුදදුන්න මල් පොකුර
තාමත් පුදනවා මං
මල් පෙති පරවූවත්...


ගැනගන්න ඔබ දුන්නු

ඔබ ඉන්න දින ගණන
තාමත් ගනිනවා මං
ඔබ ගොස් අවසන්මුත්...

සුදු සෙනෙවි තුමන්....

:::ලිපි වර්ගය:::

සුදු සෙනෙවි තුමන් 
අසු අරගෙන හැල්මේ යන කල
ගුරු මග මංපෙත
ගොරහැඩි පොළොවේ කුර ගැටෙමින
දිගු කුර පැටලී
නොසිතූ ලෙස අසු පැකිලී බිම
සුදු සෙනෙවි තුමන්
බිම පෙරළී මඩ පාටින් සුද


කණ කොක් සුද ලෙස
සුදට පෙනේ නිල පට්ටම් කබා
පිසදමනට බෑ දුහුවිලි
තව තව තැවරෙයි ගත
වත රිදුම් දෙතේ
ඉවසනු බැරි ලෙස හරි හරියට
යනු කෙසේ ඉතින්
කච්චේරිය දැන් හොදටම පමා


එහි සිංහල ගැමියන්
යන මග අසු පෙරළිය දැක
බල අසුන් දෙදෙනෙකුය පෙරලී
මඩ කඩිත්ත මත
හෙළ බස වැටහෙන
සෙනෙවි තුමන් මේ හරුපය දැන
කිපි මහ සද්දෙන්
හඩ නැගුවයි වේදනාව මැද

නකියුබා කදු අතර....

:::ලිපි වර්ගය:::


සුදට සුදු හිම කැටද පෙනි පෙනී දිලෙන කල
හැංගෙමින් දගකරන හිරු මඩල සිනාසෙන
චෙරිමලේ සුවදපොද ඉවසන්න බැරිතරම
චෙරි මලේ රතුපාට සිහින් දෙතොලට උරුම

හිනාවෙන දොළපාර කථාවෙන බඩවැටිය
බැටළු රෑනට හොරෙන් වැඩෙන නිල් තණනිල්ල
මතක අතරේ දුවයි හොන්ෂු මල් රේණු පොද
සුවද හරියට දැනේ ඔබ ලගින් හුන් ලෙසම

උණ පුරුක් වැට උඩින් නෙත් දිදුල දුන් හැටිම
කිරිබදුන රත්කරන පෙරනිමෝ ගිනිදැල්ල
නකියුබා කදුපෙළද සෙවන දුන් හුළු ගසද
හීතලට තව දැනේ ඔබෙ සුසුම් පොද ලෙසම

සිහින් සළු පොට වැසුණු නිල්පාට නෙත් යුවල
මීදුමෙන් වැසීගිය පුංචි උල්පත් ලෙසම
සරියතෝ වෙහෙරබිම සුවද දුම් රැලි පෙලට
එක් වෙලා ඒ මතක නකියුබා කදු අතර....

අවසන් ඉල්ලීම

:::ලිපි වර්ගය:::

සුහද සිතින් සැම
සිත් දිනූ
නිබද දයාවෙන්
සිත අස්වැද්දූ
ඔබ
නිවනට යන්නට
මොහොතකට පෙර
අපේ හදවතේ
නැවත
උපදිනු මැනවි...

දිනයක වෙසක්

:::ලිපි වර්ගය:::


                 සුමිතුරු           සද ඇවිත් සක්මන් කරනු              වැනී
                 පිවිතුරු           වදන් මුවගින් මල් ඉසිනු                වැනී
                 දිවිතුරු            වෙසෙන අතරේ සිත නිවනු           වැනී
                 ලොව්තුරු            මුණිදු දෙසු දම්කද ඇසෙනු      වැනී 


                 විදිමින්         අමාදම් අපමණ සුවක්                    දැනේ
                 සිතමින්        නොතිර බව නිබදව පසක්               වුනේ
                 සුපහන්       හැගුම් රන්දා සිත සිලක්                 මෙනේ
                 සුවදින්        පිරේ මදනල වුව වෙසක්                  දිනේ

වෙසක් පින මට

:::ලිපි වර්ගය:::


හදවතේ ඇත ලොව්තුරු මුණි බණ
අතපයේ නැත දන්සලේ හිපොප් හිරිගති
දෙනෙතේ රැදී ඇත පහන් සිතින් දුටු දම් දන
නැතේ මුවෙහි ගෑවූ සුරාපස මතින් මද



ඇතේ පපුතුරෙහි මුණි පෑව අමාගුණ සමුදාය
නැතේ දන් පින් කෙරුම් අණ බෙර ගසා ලොවටම
සිතින් දල්වමි පහන් සිළුවක් එළිය කරනට දියතම
නිතින් ඉවසමි පවිටු කෙරුමන් වෙසක් දින කරනාවු



එකම මලක් පුදා සමිදුට පතමි එක පැතුමක්
කල නොහැක මට මහා දන්පින් සසුන වෙත මාතින්
එකම දේ මට කල හැකිය ඒ හිමි දෙසූ අරුතින්
යමි සරණ මම මට හැකි පමණ ලෙස හිමි සැදූ මගකින්

මලකට

:::ලිපි වර්ගය:::

හීනියට හිනාවෙන
සුවදින් හිත්බිදින
පාටින් ගලපන
නෙත් වලින් කථාවෙන
පිනිපොදට හිනාවෙන
මලක් ඇතිද මිහිපිට
ඔබේ නම
තියන්නට 

පිපාසය

:::ලිපි වර්ගය:::

පිපාසය රජකරන
කතර බිම උණුසුමට
දිය පොදක් පතිතවෙයි
සිතා තව දුර පැමිණි
කතර බිම වැසි නොමැති
දිය පොදක් සිහිනයකි

ගව් ගණන් ගෙවා ආ
කතර දුර මග ලකුණු
රැදී ඇත මතකයේ එම ලෙසම
අමතකව ගිය එකම පිපාසය
දැනේ දැන්
උහුලණු බැරි සෙයින්

පිපාසය තරම් වන
දුකක් නොමැති මේ කතර
වැටේනම් එකදු දියපොදක්
වැටෙනු දෑතට නුදුරින්
දෝතට ගනු හැකි සෙයින්

නොරැදීම

:::ලිපි වර්ගය:::

යන්න ගියත් නුඹ හිත අද්දරින්
ඉන්නවා වගේ තනියම නෙත ලඟින්
පුරුද්දට වගේ ගැලු ඒ කඳුළකින්
ගසාගෙන ගිහින් නුඹ ඒ හුන් තැනින්

නිකමට ආ ඇය...

:::ලිපි වර්ගය:::

රතු තොල් තෙත්කරන්
සායම් ටිකෙන් ටික බොදකරන්
ඇස් තත්පරේකට සවිකරන්
දුර බලාගෙන දෙනෙතට හොරෙන්

මගේ පපුවේ රෝස මලක් පිපී
එහි සුවද බලන්නයි ඇය ආවේ
දැන් සුවද නැතේ මැලවිලා වගේ
කටුවකුත් කඩාගෙන ඇය ගියේ

නුඹෙ නෙතට හොරා
මම ලංවී බැලුව නිසා
නුඹෙ පපුව පලා
හිරකරන් ඇතේ දන්නා බොහොදේ
නෑ අලුත් යමක්
දක්නට තිබුණේ 

ඔය ඇස් දෙක තරම්

:::ලිපි වර්ගය:::

වෙන දෙයක් කුමටද මට දුන්න
සෙනෙහසම ඇති
අලුතින් යමක් කුමට මට
නුඹේ මතක හොදටම ඇති
ජීවිතය ලියන්නට අලුතින් පදවැලක්
කුමටද මට
නුඹ කියූ පෙම් වදන්
තවමත් පපුතුරෙහි හිරවී 
ඉකිනොබිද පෙලයි මා හද නුඹ වෙනුවෙන්

ජීවිතයක් කුමට මට
ලියාදුන්නු නුඹ නැතිවිට
මගේ ජීවිතය තියා එකතැනක
අරන් ගිහින් නුඹේ සෙවනැල්ලත් දුරට
ඔය ඇස් දෙක තරම් වන
ලස්සන දෙයක් නැති මිහිපිට
හොයන්නද මං කෙසේ දැන්
නුඹ දුන්නු හීන ගොඩ....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්