twitter rss

ඔහුට හිමි නුඹෙ පින්තූරය

:::ලිපි වර්ගය:::

 
ඉරහඳ දහසක් මැද - නිල් නුවණ තනිව ඇති
මොහොතකට සිනහා - නොවන දවසක පුදුමැති
ගත්ත නුඹෙ පින්තූරය - අද ඔහුට හිමි
හැඩයට තබාගෙන ඔහු - ලොවට පෙනෙන්නට
නුඹ හිත මෙන්ම - රුවද හිමි බව කියන්නට
 
තදකරන් හුස්ම පොද - ඉඳහිට මමත් ගොස්
බලනවා පින්තූරය - නුඹෙ සුසුම් රැඳී ඇති
ඔහුට හිමි වුනත් අද - නුඹට හිමිවෙලා නැති
 
 
- ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර -
 


වෙන්වයාම

:::ලිපි වර්ගය:::

 
හිත හැදෙන්නට වචනයක් නැති
හිත රිදෙන්නට තවත් ඉඩ නැති
නොනිමි සුසුමන් ගලන මොහොතක
යන්න ගිය මතකයන් නොරැඳිම
වසාලන නෙතු පියන් අතරට
ගොළුවෙලා හද ගැස්මද හොරෙන් මට
අහස්ගැබ දෙස නොබලනා නෙත
මටත් නොදැනිම වැසේ තනියම
 
යන්න ගිය නුඹ නොඑන වග දැන
යන්න යමි මම මතක පොදි බැඳ
 
--------- ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර --------
 


දුහුවිලි කුමරිය

:::ලිපි වර්ගය:::
 
 
සිහිනෙන් සිහිවන
සිනහව හින්දම
නින්දද නොමැතිව
මං අද තනිවම
හුලඟට හුරුනැති
ඉමදිය මංකඩ
නුඹේ සිනා ගෙන
බලා හිඳී අද
 
 


ගං දියට ගිය මිත්තරේ..

:::ලිපි වර්ගය:::


තුන්රෝදෙ උඩ ගෙවන දවසම
ජීවිතය හුරුවෙන්න ඇති
දකින නොදකින මුහුණු අතරෙම
දවස සරිකර ගන්න ඇති

මිතුරු කැල මැද නිවෙන දාහය
යොවුන් සිත පුබුදන්න ඇති
ඉහෙන්,දෙකණින්,මුවින් ගිලිහෙන
යොවුන් පැතුමන් ඉන්න ඇති

හයර් දෙක තුන එකතු කරගෙන
පිලිවෙලක් කරගන්න ඇති
ගෙදර කලඑළි කලේ උඹ බව
සනුහරේ උන් දන්නේ නැති

හීන හිත පෙම මත්තේ හැපි හැපි
නොයෙක් දුක් පොදි දෙන්න ඇති
ඉහිලු අභිමන් යොවුන් පැතුමන් 
පෙමක් පාමුල පොඩි වෙන්න ඇති

මචං තාලෙන් එදත් හංදියේ
පාක් එක ලඟ ඉන්න ඇති
අතට හුරු දිග යතුරු කැරැල්ල
කැරකෙමින් දඟලන්න ඇති

මුවෙහි වූ එක සිනා රැල්ලත්
සැනින් කොහි සැඟවෙන්න ඇති
දෙනෙත් පොඩි කර සුසුම් හෙලමින්
ගංතෙරට නුඹ යන්න ඇති

පොකැට්ටුව හා ජංගමේ නුඹෙ
ගංතෙරේ තනිවෙන්න ඇති
දිගැති හුස්මක් දෙකක් හෙලලා
ගංදියට නුඹ යන්න ඇති

ලපටි කල සිට නිල්වලා ඟග
නුඹෙ පහස හඳුනන්න ඇති
දුකක් හිත තිබු නුඹෙ නිසල් රුව
ඇඟෙ උකුල මත සතපන්න ඇති

(වෙලේවත්ත හංදියේ ත්‍රීවීල් පාක් එකේ නිතර මුණගැහුණ මිත්‍රයා ගංදියට දිවි දුන්නා...ඌ වෙනුවෙන් ලියපු කවි වැල...උඹට නිවන් සුව මචං !)



සළුවඩන්නී

:::ලිපි වර්ගය:::


පාත ඇළ ලඟ රිදී බැම්මේ
ඇහැල ගහ යට හැන්ඳැ වරුවේ
පෙනි පෙනී වෙල් නිල්ල මානේ
නුඹෙ රුවයි ලහි ලහියෙ එන්නේ

කරඹ මල් කැකුලක් අරන්
එහි සුවඳ මුසුවී බලා ඉන්නේ
පොට්ටෙනිය හිස තබාගෙන විත්
ගිමන් හරිනා නුඹේ රුවමයි

දහඩියට නිසි ලංසුවක් නැති
ජීවිතය හරි මගක් දන්නැති
මනුසතුන් මැද දිවිගෙවන්නට
රෙදි ගොඩක් සරණට එන්ට ඇති

අඳින සළු නිසි පාට අගනට
ඔප කරන්නට වරම් ලැබුනට
එවන් සළු නුඹේ ගතේ රැඳුමට
පිනක් නොලදැයි කියමි කෙලෙසක

කුලවතුන්ගේ හිත් හදන්නට
පා මගට බැස නිතර පෑගෙන
මලක් දුටු විට පුරුදු විලසම
මැවෙන්නේ නුඹෙ රුවයි ඒ මත

පව් කලත් සිල් සළුව වැසුනට
ඒ පවත් නුඹෙ අතින් හේදෙන
බවක් ඒ අය දන්නවානම්
පිනක් නොලදත් කමක් නෑ නුඹ

පාත ඇළ ලඟ කිලිටි හෝදන
නුඹට හිමි තැන ලොවම නුදුටුව
හැන්ඳැ වරුවට වගෙම දවසෙම
හිත් පුරා නුඹෙ සළු අඳී හිත





ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්