twitter rss

සළුවඩන්නී

:::ලිපි වර්ගය:::


පාත ඇළ ලඟ රිදී බැම්මේ
ඇහැල ගහ යට හැන්ඳැ වරුවේ
පෙනි පෙනී වෙල් නිල්ල මානේ
නුඹෙ රුවයි ලහි ලහියෙ එන්නේ

කරඹ මල් කැකුලක් අරන්
එහි සුවඳ මුසුවී බලා ඉන්නේ
පොට්ටෙනිය හිස තබාගෙන විත්
ගිමන් හරිනා නුඹේ රුවමයි

දහඩියට නිසි ලංසුවක් නැති
ජීවිතය හරි මගක් දන්නැති
මනුසතුන් මැද දිවිගෙවන්නට
රෙදි ගොඩක් සරණට එන්ට ඇති

අඳින සළු නිසි පාට අගනට
ඔප කරන්නට වරම් ලැබුනට
එවන් සළු නුඹේ ගතේ රැඳුමට
පිනක් නොලදැයි කියමි කෙලෙසක

කුලවතුන්ගේ හිත් හදන්නට
පා මගට බැස නිතර පෑගෙන
මලක් දුටු විට පුරුදු විලසම
මැවෙන්නේ නුඹෙ රුවයි ඒ මත

පව් කලත් සිල් සළුව වැසුනට
ඒ පවත් නුඹෙ අතින් හේදෙන
බවක් ඒ අය දන්නවානම්
පිනක් නොලදත් කමක් නෑ නුඹ

පාත ඇළ ලඟ කිලිටි හෝදන
නුඹට හිමි තැන ලොවම නුදුටුව
හැන්ඳැ වරුවට වගෙම දවසෙම
හිත් පුරා නුඹෙ සළු අඳී හිත





brought to you by
  1. චිත්‍ර රූප මැවෙනවා කවිය කියවද්දී.
    මේ සමාජ පංතිය මේ ආකාරයටම නැති උණත් වෙනත් ස්වරූප වලින් තවමත් බැට කනවා

  1. අගේ ඇති පද පේලි

  1. අර මිස්ට බීන් ෆිල්ම් වල රෙදි හෝදන්නෙ මැසින් වලින්..ඒ විදියට මැසින් වලින් රෙදි හෝදන්න ගත්තොත් වැඩි මහන්සියක් නැහැ...මැසින් දැන් පාසු ගෙවීමේ ක්‍රමයට ගන්නත් පුලුවන් නිසා හරිම ලේසි වෙයි වැඩ ටික..

  1. @Black Puma - පැහැදිලිවම තාම කුල ගොත් යකා සමාජෙන් පන්නලා නෑ

  1. @දේශකයා - ස්තූතියි ඔබට

  1. @Amila - තාක්ෂණය එතනට ඇවිත් තියනවා මිත්‍රයා..නමුත් එහෙම ලේසියෙන් විසඳන්න පුළුවන් තැනක නෙවෙයි අපේ සමාජගත ගැටළු තියෙන්නේ

  1. බොහොම අපූරු පද වැලක්...අපි තාමත් පසුගාමි ගෝත්‍රික මතයන්ගෙන් ගැලවෙන්න උත්සාහ කරන්නේ නැහැ බවයි පේන්නේ.

  1. @Arugeadaviya - අපි තව දුරටත් අඳුරට සාප කරලා වැඩක් නෑ මිත්‍රයා...අපි දල්වමු පහනක්..එක පහනකින් පහන් සියයක් දැල්වුවත් ඒකේ එලිය අඩුවෙන්නේ නෑ කියලා සුභාෂිතේ කියනවා වගේ..අපි අද වෙනස් කරමු..එතකොට හෙට ඉබේම වෙනස් වෙයි

  1. තාම යාන්තමින් හරි ඔය කුලබේද කොහෙන් හරි මතු වෙනවා ජනා.. ලස්සනයි කවි පෙල..

Post a Comment

අදහස් දැක්වූ ඔබට බොහොමත්ම ස්තූතියි....
කවියට ලැදි හිත
සදා අමරණීයයි....

ජනරග විජඉදු දේවසුරේන්ද්‍ර නිර්මාණයක්